වත්මන් ආණ්ඩුව විසින් වී කිලෝවක් සඳහා රුපියල් 115ක සහතික මිලක් නියම කළ හැකි බව ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේය. ගොවියාට අසාධාරණයක් නොවන පරිදි වී කිලෝවක නිෂ්පාදන වියදම ගණනය කර එයට 30%ක් එකතු කර වී සඳහා සහතික මිලක් නියම කරන බව වත්මන් කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති අවස්ථා කීපයකදීම ප්‍රකාශ කළේය.
වර්තමානයේ දී හෙක්ටයාරයක භූමියක සී සෑමේ සිට අස්වැන්න ගබඩා කිරීමේ අවස්ථාව සඳහා අවම වශයෙන් රුපියල් දෙලක්ෂ විසිපන් දහසක පමණ වියදමක් දැරිය යුතුය. ඒ වගේම නිසිපරිදි කටයුතු සම්පූර්ණ කරන ලද හෙක්ටයාර් එකකින් මහවාරි යටතේ කිලෝ 5500 – 6000ක පමණ හා සුළුවාරි යටතේ වගා කරන හෙක්ටයාර් එකකින් කිලෝ 4000 – 4500ක් අතර වී අස්වැන්නක් ලබා ගත හැකියි.
ඒ අනුව වී කිලෝවක් නිෂ්පාදනය සඳහා ගොවි මහතකු දැරිය යුතු වන අවම මුදල රුපියල් 50ක් පමණ වේ. ආචාර්ය හර්ෂ විසින් උපකල්පනය කර ප්‍රකාශ කරන ලද වී මිල කිසිසේත්ම අසාධාරණ නොවනුයේ එම ගණනය කිරීම්වලට අනුවය.
මෙහිම අවධානයට ලක්නොකරන තවත් කරුණක්ද වේ. ඒ කිසිදු කෘෂිකාර්මික බිම් අඟලක් හෝ නොමැති පිරිසක්ද මෙම නිෂ්පාදනය සඳහා බරපැන දරන්නෝ වන බවය.
නිෂ්පාදන වියදම
ගොවි මහතකු විසින් වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා දරන ලද වියදම සම්බන්ධයෙන් ඉහත කරුණු දැක්වීම මඟින් යම් දළ අදහසක් හෝ ලබා ගත හැකිය. එසේ වූවද, කෘෂිකර්මාන්තය සඳහා වන ආයතන පද්ධතිය නඩත්තු කිරීම සඳහා වන වියදම් දැරීම වෙනුවෙන් මෙරට සමස්ත පොදු ජනතාවම දක්වන දායකත්වය පිළිබඳව මේතාක් නිසි ගණන් බැලීමක් සිදුකර ඇත්ද යන්න සැක සහිතය.
ජල පහසුකම් සැපයීම සඳහා වන ඇළ වේලි, වැව් අමුණු නඩත්තු කිරීම සහ නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා මෙන්ම ඒ සඳහා වන ආයතන පවත්වා ගෙන යාම සඳහා රජය විසින් වාර්ෂිකව වියදම් කරනු ලබන මහජන මුදල් කොතෙක්ද යන්න පිළිබඳව නිසි පරිදි ගණන් බැලීමක් සිදුකළ යුතුය.
එම ගණන් බැලීමට අනුව අදාල වාර්ෂික වියදම එම වර්ෂයේ වී අස්වැන්නට අදාළ වියදමට එකතු විය යුතුය. එවැනි ගණන් තැබීමකදී එය යම් ගොවි මහතකු විසින් වී කිලෝවක් නිපදවීම සඳහා දරන ලද මුදල ඉක්මවා යන තරමේ මුදලක් රජය විසින් දරමින් සිටිනවාද විය හැකිය. යම් වගාබිමක හිමිකම ඇති ගොවි මහතෙකු එම වගාබිමට ඔහුට ඇති හිමිකම මත යම් වගා කටයුත්තක නිරත වූවද ඔහු ලබන අවසාන ප්‍රතිඵලය සඳහා ඍජුවම දායක නොවන නමුත් වක්‍රව දායකත්වය සපයන පොදු මහජනතාවට ද ඒ සඳහා වන අයිතිය සම්බන්ධයෙන් සමාජ අවධානය යොමු විය යුතුය.
වැඩිම මිල.
ආණ්ඩුවක් විසින් වී කිලෝවක් සඳහා ලබාදුන් ඉතිහාසයේ වැඩිම සහතික මිල මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ. මේ වනතෙක් පැවති ආණ්ඩු විසින් ප්‍රකාශයට පත්කර තිබූ වැඩිම සහතික මිල සඳහන් වනුයේ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 110 කි.
ආණ්ඩුව විසින් වී කිලෝවක් සඳහා රුපියල් 115ක් ලබා දෙනු ඇති බවට ආචාර්ය හර්ෂ උපකල්පනය කරන්නට ඇත්තේ ඔවුනගේ පාලන කාල සීමාවන්වලදී මෙන් නොවී මෙම ආණ්ඩුව වඩා ජනතාවාදීව කටයුතු කරනවාය යන්න පිළිබඳව ස්වයං පිළිගැනීමක සිට විය යුතුය. එසේ වූවද ආණ්ඩුව ඔවුනගේ උපකල්පනයන් ඉක්මවා කටයුතු කර තිබේ.
වත්මන් ආණ්ඩුවේ යම් ක්‍රියාකාරිකයෙකු විසින් වී කිලෝවක් සඳහා රුපියල් එකසිය තිහක සහතික මිලක් ලබා දෙන බවට කළ ප්‍රකාශයක් උපුටා දැක්වීම ආචාර්ය හර්ෂ විසින් සිදු කරන ලදී. එහි දී නිෂ්පාදන වියදම ගණනය කර එයට 30%ක් එකතු කර සහතික මිල තීරණය කිරීම දෝෂ සහිත බවද ඔහු ප්‍රකාශ කරන ලදි.
සහල් තොග වෙෙළඳාමේ දී කිලෝවක් සඳහා රුපියල් 215ක පාලන මිලක් ආණඩුව විසින් නියම කොට තිබියදී වී මිලදී ගැනීමේ සහතික මිල රුපියල් 120 සීමාවේ රැඳවීම හේතුවෙන් මෝල් හිමියාට රුපියල් 10.00ක අතිරේක ලාභයක් ලබා ගැනීමට ආණ්ඩුව විසින් ඉඩ සලසා ඇත යනුවෙනි.
දියුණු දේශපාලන දැක්මක් සහ භාවිතාවක් සහිත දේශපාලන පක්ෂයක් බොහෝවිට සිටිනුයේ ජනතාවට පියවරක් ඉදිරියෙනි. එමෙන්ම තම දේශපාලන ප්‍රතිවාදියාට පියවර දෙකක් ඉදිරියෙනි.
කිත්සිරි කොඩිතුවක්කු