දරුවට ඉගෙන ගන්න පාසලක් නැතිව මවුපියෝ විරෝධතවක

තම දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පළමු වසර සඳහා පාසලක් නැතැයි, මවක හා පියකු එම දරුවා රැගෙන කොත්මලේ අධ්‍යාපන කාර්යාලය අසල විරෝධතාවක නිරත වූහ.

මෙසේ විරෝධතාවයේ නිරත වූයේ කොත්මලේ, කුඹල්ඔලුව, කිරිඳ‍ි‍වල ප්‍රදේශයේ පදිංචි සමීර නලින් විජේසිංහ (පියා) හා ඉන්දීවරී උදයංගනී තිලකරත්න (මව) යන දෙදෙනායි.

මොවුන් කලාප කාර්යාලය ඉදිරිපිට ලොරි රථයක් නවතා එය ආවරණය වන පරිදි විරෝධතා පුවරු අල්ලා දරුවා සමඟ එම ලොරි රථයේ සිට මෙම විරෝධතාව දක්වන ලදී.

මෙම පිරිස පදිංචිව සිටින කොත්මලේ කිරිඳිවල ගම තුළත් පාසලක් ඇතිමුත් එම ප්‍රදේශයේ සියලුම දරුවන් කොත්මලේ නියංගම්දොර පාසලට ඇතුළත් කිරීමට බලධාරීන්ගේ මැදිහත්වීම මත මවුපියන් කටයුතු කිරීම නිසා කිරිඳිවෙල පාසල වැසී යෑමේ අවදානමක් මතුව ඇතැයි මවුපියෝ පවසති.

මේ පිළිබඳව අධ්‍යාපන බලධාරීන් අවධානය යොමු නොකිරීම නිසා වසර 75කට වඩා පැරණි එම පාසල 2016 දී වැසී ගොස් තිබිය දී එහි වර්තමාන විදුහල්පති වෙළගෙදර මහතා නිවාසවලට ගොස් ළමයින් එකතු කර පාසල යළි විවෘත කර ඇති බව පැවසේ.

නමුත් යළිත් එම ප්‍රදේශයේ දරුවන් නියංගම්දොර පාසල ඇතුළු අනෙකුත් පාසල් වලට යැවීම නිසා මෙම පාසල යළි වැසී යෑමේ අවදානමක් මතුව තිබේ. මෙවර එහි 1 වසර සඳහා සිසුන් නොමැතිව ඇත්තේ එම ප්‍රදේශයේ සිසුන් දොළොස් දෙනකු නියංගම්දොර පාසලට ඇතුළත් කිරීම නිසා බව ද මවුපියෝ පවසති.

නමුත් මෙම විරෝධතාවට එක්වූ මවුපියන්ගේ කුඩා දියණිය පමණක් මෙවර එම පාසලට නොගැනීම නිසා මෙම තත්ත්වය උදා වී තිබේ.

සිසුන් නොමැති ගමේ පාසලට මෙම දරුවා පමණක් ඇතුළත් කිරීම දැඩි අනාරක්ෂිත බව නිසා ඒ පිළිබඳව පැවසීමට කොත්මලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී. වී. එස්. එස්. පනංවල මහතා හමුවීමට ගිය ද ඔහු හමුවීමට පවා නොදී කාර්යාල කාර්ය සහායක ලවා දන්වා ඇත්තේ මේ පිළිබඳව එම පාසලේ විදුහල්පති සමඟ කටයුතු කරන ලෙස එම මවුපියන්ට දැන්වූ බවය. ඒ අනුව මොවුහු මෙසේ විරෝධතාවේ නිරතව සාධාරණය ඉල්ලා සිටියහ.

මේ පිළිබඳව අධ්‍යක්ෂවරයාගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ,

කිරිඳිවල ගමට ආසන්න කුඹල්ඔලුව පාසල එම දරුවාට ලබාදීමට කරුණු සොයා බලන බවයි.

නමුත් මෙම මවුපියන් ඉල්ලා සිටින්නේ කිරිඳිවෙල ගමේ පාසලට ළමයින් ඇතුළත් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි. මෙය වැසී යෑමෙන් දුප්පත් මවුපියන්ගේ දරුවන්ට පාසලක් නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.

කිරිඳිවෙල විශුද්ධාරාම විහාරස්ථානයේ විහාරාධිපති කොත්මලේ සුමේධ හිමි හා කොත්මලේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි අනුෂ්කා තිලකරත්න මහත්මිය ද මේ වැසී යෑමේ අවදානම ඇති කිරිඳ‍වල පාසලේ 1 වසර පන්තිය යළි ආරම්භ කරන ලෙස අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටියහ.

කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර රත්නායක මහතා විසින් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස්‌ කණ්ඩායමක් ද යොදවා තිබෙන අයුරු දැකගත හැකි විය.

ගම්පොළ -සුරංග දිල්හාන්