මෙවර අය-වැය කර්මාන්තකරුවන්ට සුබදායක වෙනවා

මෙවර කර්මාන්තකරුවන්ට සුබදායක අය – වැයක් ඉදිරිපත් කෙරෙන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ (06) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වූ පාවහන් හා සම් භාණ්ඩ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. ප්‍රදර්ශනය 09 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ රටේ කර්මාන්ත ව්‍යවසායකත්ව උන්මාදයක් ඇති කරන්නයි. අපි හුඟක් පිටිපස්සට ගියපු රටක්. අපි හැමදාම කතා කරන්නේ අපේ දේ අගය කරන්න, අපේ දේ නිෂ්පාදනය කරන්න, ජාත්‍යන්තර තලයට අපේ සන්නාමය වටිනාකම ගෙනියන්න කියලයි. එහෙම ගෙනියන්න පුළුවන් ක්ෂේත්‍ර කිහිපයක් විතරයි තියෙන්නේ. රටක් හැටියට ක්‍රීඩාවෙන් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මැණික්වලින් ජාත්‍යන්තර තලය ජයග්‍රහණය කරන්න අපට පුළුවන් වෙලා තියෙනවා. අපේ වටිනාකම, අගය ජාත්‍යන්තර තලයට ගෙනියන්න පුළුවන් ක්ෂේත්‍ර තියෙනවා. තරගකාරීත්වයෙන් ජයග්‍රහණයකට යන්න පුළුවන් ප්‍රධාන ක්ෂේත්‍රයක් තමයි සම් සහ පාවහන් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය. අපට ඒක ජයග්‍රහණය කරන්න පුළුවන්.

අපි නිෂ්පාදනය කරන දේ තුළ තියෙන ගුණාත්මකභාවය හරියට ආරක්ෂා කරන්න පුළුවන් නම් අපට අපේ දේ අගය කරන්න පුළුවන් සහ ඒක ජාත්‍යන්තර තලයට ගෙනියන්න පුළුවන්. අපේ පාවහන් නිෂ්පාදනවල වටිනාකම මුලින්ම කියා දෙන්න ඕනේ අපේ රටේ ජනතාවටයි. අපේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා ශ්‍රී ලාංකිකයෙක් වෙන්න, ශ්‍රී ලාංකික දේ පලඳින්න, ශ්‍රී ලාංකික දේ අගය කරන්න.

ඉන්දියාව ගත්තොත් මුළු ලෝකයේම නිෂ්පාදන අත්පත් කරගන්නට මහත්මා ගාන්ධි, නේරු තුමා වැනි අය පළමුවෙන් සටන් කළේ තමන්ගේ රට වැසියන් එක්ක. ඉන්දියානුවෙක් වෙන්න. ඉන්දියානු දේ අගය කරන්න. ඉන්දියානු දේ මිලදී ගන්න කියලා ඔවුන් ජනතාව දිරිමත් කළා. ඉන්දියාවේ දේ පලඳින්න කියලා මහත්මා ගාන්ධිත් නේරුතුමත් සටනක් ගෙනිච්චා. අද ඉන්දියාව දකුණු ආසියාවේ ඉහළ වෙළෙඳපොළක් අත් කරගෙන තිබෙනවා.

අද පටන් ගත්තොත් අපි විශ්වාස කරනවා පුංචි ශ්‍රී ලංකාවට ලෝකයේ අපේ තැන අත්පත් කරගන්න හැකියාව තිබෙනවා කියලා, පළමුවෙන්ම ව්‍යවසායකත්ව උන්මාදය කර්මාන්ත උන්මාදය අපි තුළ ඇති කරගත යුතුයි. අපේ මානසිකත්වය තුළ හැඟීමක් තියෙනවා පිටරට දේ සිරි සැප දේ කියලා. ඒ වෙනුවට අපේ රටේ දේ වටිනවා කියලා පගඳින්න පටන් ගත්තොත් අගය කරන්න පටන් ගත්තොත් පළමුවැනි ජයග්‍රහණය අන්න එතනයි තියෙන්නේ. ශ්‍රී ලාංකිකයෙක් නම් අපි අපේ දේ අගය කරමු, අපේ වටිනාකම අගය කරමු. නිෂ්පාදකයන් හැටියට අපි ඔබට කියන්නේ තරගකාරීත්වයට උඩින් අපි ජයග්‍රහණයට යමු.