දීර්ඝ කාලයක් පුරා පැවැති ගුරු සහ විදුහල්පති සේවයේ වැටුප් විෂමතාව 2021 වසරේ ඉවත් කිරීමේදී ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් නොසලකා හැරීමෙන් වසර තුනක් පටන් බරපතළ වැටුප් විෂමතාවකට මුහුණදී සිටින බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමයේ සභාපති අසිත බස්නායක මහතා පැවැසීය.
ඒ මහතා මේ බව කීවේ කොළඹදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට ඇතුළත් වන්නේ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ගුරු විද්‍යාල සහ ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවල පූර්ව සේවා හා සේවාස්ථ ගුරුවරුන් පුහුණු කිරීමේ කාර්යයන්හි නිරත අධ්‍යාපනයේ විධායක නිලධාරීන් පිරිසක්.
දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් දීමට නිපුණතා පිරි ගුරු පරපුරක් හදන්නට කැපවෙන පිරිසගේ නොවිසඳුණු ගැටලු විසඳාදීමට රජය මැදිහත්විය යුතුයි.
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ වැටුප් විෂමතාව ඉවත් නොකිරීම, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ උසස්වීම් පටිපාටිය සංශෝධනය නොකිරීම, යෝජිත ගුරු විශ්වවිද්‍යාලය ස්ථාපනය කිරීම ප්‍රමාද කිරීම, ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සේවය නිසි කලට ස්ථිර නොකිරීම, උසස්වීම් ප්‍රමාද කිරීම, කාර්යක්ෂමතා කඩඉම් විභාග නිසි පරිදි නොපැවැත්වීම, අඛණ්ඩ ගුරු අධ්‍යාපන ගුරු පුහුණුව ගුරු අධ්‍යාපනඥයන්ගෙන් ඉවත් කිරීම වැනි ගැටලු රැසක් පවතිනවා.
දිගු කාලයක් පුරා පැවැති ගුරු සහ විදුහල්පති සේවයේ වැටුප් විෂමතාව 2021 වසරේ ඉවත් කිරීමේදී ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් සහ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් නොසලකා හැරීමක් සිදු කර තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් වසර තුනකට ආසන්න කාලයක් වැටුප් විෂමතාවකට මුහුණ දී සිටිනවා.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණියට පත්වන නිලධාරියකු වසර 12කින් පළමු ශ්‍රේණියට උසස් වීම් ලැබිය යුතුයි. නමුත් ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරියකුට ඒ සඳහා වසර 17ක් බලා සිටීමට සිදු වෙනවා. ඒනිසා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ මෙන්ම ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්ට 3 ශ්‍රේණියේ සිට වසර 6කින් දෙවන ශ්‍රේණියට ද තවත් වසර 6කින් පළමු ශ්‍රේණියට ද උසස් වීම් හිමිවන පරිදි ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ උසස්වීම් පටිපාටිය සංශෝධනය කළ යුතුයි.
මේ ගැටලු පිළිබඳ කලකිරීමට පත් ගුරු අධ්‍යාපනඥයන් තිස් දෙනකු දැනටමත් රට හැර ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ගුරුවරුන්ට උපදෙස් දීමට අධ්‍යාපනඥයන් හිඟයක් පවතිනවා.”
මේ සඳහා සංගමයේ මාධ්‍ය ලේකම් වන ඩී. කේ. ජී. විමලරත්න මහතා ද සහභාගි විය.