විදුලිබල පනත සංශෝධනයට අදහස් ලබා ගැනීම 14දා තෙක් දීර්ඝ කරයි

විදුලිබල පනත සංශෝධනය කිරීමට අදාළ මහජන උපදේශන ලබා ගැනීම සහ අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීම මෙම මස 14 වැනි දක්වා දීර්ඝ කළ බව බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

නව විදුලිබල පනත ජූනි 25 සිට බලාත්මක වීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල මහතා ප්‍රකාශ කළේය.

කොළඹ පිහිටි බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට ඊයේ (06) එක්වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල මහතා මෙසේද පැවසීය.

වසර 2024දී නව විදුලිබල පනත ගෙන ආවා. එම පනතට අනුව එයට සංශෝධන ගෙන ඒමෙන් පසුව ලබන ජුනි 25 වැනි වන විට එය බලාත්මක වීමට නියමිතයි. එම පනතේ සමහර වගන්ති නව ආණ්ඩුව බලශක්ති වැඩපිළිවෙළ සහ දැක්මට අනුව එහි නව ප්‍රතිසංස්කරණයන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එබැවින් එයට අදාළ මහජන උපදේශනය සහ අදාළ පාර්ශ්වයන්ගේ අදහස් විමසීම මෙම මස 14 වැනි දක්වා දීර්ඝ කරනවා. මෙම පනත මඟින් විදුලිබල ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් මෙම පනතේ සාකච්ඡා වෙනවා.

පසුගිය ජනවාරි මස මේ පනත සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කළා. ජනතාවගේ අදහස් ලබාගෙන රටට හිතකර වන පරිදි බලශක්ති පනතක් ගෙන ඒම අපේ අරමුණයි. විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශය යනුවෙන් අප නව ආයතනයක් ඇති කළේ ද රටට හිතකර බලශක්ති ක්‍රමවේදයන් හඳුන්වා දීමටයි.

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් විදුලි ඉංජිනේරු පුබුදු නිරෝෂන් මහතා –

නව ආණ්ඩුව බලශක්ති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට අනුගතව විදුලිබල පනතේ සමහර වගන්ති වෙනස් කරමින් රටට හිතකර බලශක්ති ක්‍රමවේදයක් ඇති කරලීමට අරමුණු කරගනිමින් මහජන උපදේශනය ලබා ගැනීම පසුගිය 07 වැනිදායින් අවසන් වුණා. නමුත් මහජනතාවගෙන් සහ අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ලැබුණු ඉල්ලීම් හේතුවෙන් එය අප මෙම මස 14 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරනු ලබනවා.

මේ පනත යටතේ විදුලිය මිලදී ගැනීම සහ විදුලිය සම්බන්ධයෙන් ඉදිරියේ ජාතික පද්ධති සමාගමක් (NSO) පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් කටයුතු සිදුවිය හැකියි.

විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප් ප්‍රශ්න සහ සුබ සාධනය, ඊ.ටී.එෆ්, ඊ.පී.එෆ්. ආදිය සම්බන්ධයෙන් වෙනම සමාගමක් පවත්වාගෙන යෑමටත් අපේක්ෂා කරනවා.

රජයේ ඉලක්කය වී ඇත්තේ මේ කලාපයේ රටවල් අතරින් ජනතාවට දැරිය හැකි මිලකට විදුලිය ලබාදෙන රට බවට අපේ රට පත් කිරීමයි. මෙම මස 27 වැනි දින වන විට බලශක්ති අමාත්‍යාංශයේ ඉදිරි ව්‍යාපෘති සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වෙනවා.