ආගමන විගමන පනත උල්ලංඝනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවති නඩුවකට පෙනී නොසිටි හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (06) පෙරවරුවේ වරෙන්තු නිකුත් කර පසුව එය ආපසු කැඳවීමට නියම කළාය.
සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍යවරිය නීතිඥවරු මාර්ගයෙන් ඊයේ පෙරවරුවේ මෝසමක් ගොනු කරමින් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව වරෙන්තුව එසේ ආපසු කැඳවනු ලැබිණි.
ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා ආගමන විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ගොනු කර තිබූ චෝදනා 7කට අදාළ නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ඊයේ පෙනී නොසිටීම සැලකිල්ලට ගෙන රාජ්‍ය අමාත්‍යවරියට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කෙරිණි.
සිද්ධියට අදාළව සැකකාරියට එරෙහිව නඩු පවරන ලෙසට නීතිපතිවරයා ලබාදී තිබූ උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයට එරෙහිව චෝදනා හතක් යටතේ නඩු පවරා තිබිණි.
බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම, 2018 ජූලි මස 17 වැනි දින සිට 2019 ජූලි මස 16 වැනි දින කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට තුළ රැඳී සිටීම, 2020 ජූලි මස 16 වැනි දින හා 2020 නොවැම්බර් මස 1 වැනි දින කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නැතිව මෙරට තුළ රැඳී සිටීම, 2020 ජූලි මස 17 වැනි දින සිට 2020 නොවැම්බර් මස පළමු වැනි දින දක්වා කාලය අතරතුර වලංගු වීසා බලපත්‍රයක් නැතිව මෙරට තුළ රැඳී සිටීම, 2014 ජනවාරි මස 20 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට එන් 5091386 අංකය දරන විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට අදාළ අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමේදී ආගමන විගමන පාලකවරයාට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීම යන චෝදනා හත සම්බන්ධයෙන් එසේ නඩු පවරා තිබිණි.
මෙම සිද්ධියට අදාළව ආගමන විගමන පාලක ජනරාල්වරයාට හා කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් පෙර නඩු වාරයේදී කරන ලද නියෝගයක් අනුව ඔවුහු ඊයේ දින අධිකරණයේ පෙනී සිටියහ.
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබූ අතර එම පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් මැයි මස 8 වැනි දින ඇය මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට නියෝගයක් කර තිබිණි.
ජනාධිපති නීතිඥ චානක රණසිංහ සහ නීතිඥ නිතිස් අබේසේකර මහත්වරු සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියහ.