දිමුත් වෙනුවෙන් අද ගාලු පිටිය පුරවමු-මාලිංග‍ ඉල්ලයි

ක්‍රිකට් පුහුණුකරුවකු වීමට දිමුත් දින කිහිපයකින් ඔස්ට්‍රේලියාවට

අද ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය සේම ටෙස්ට් පිටියේ ඔහු ක්‍රීඩා කරනු දක්නට ලැබෙන අවසන් තරගය ද වේ. මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන පුහුණුකරුවකුවීම උදෙසා අධ්‍යයන කටයුතු වෙනුවෙන් මේ මාසයේදී ඔස්ට්‍රේලියාව බලා පිටත්වන බව දිමුත් කරුණාරත්න ඊයේ ගාලු ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මේ අතර දිමුත් සමඟ කණ්ඩායමේ සිටි හිටපු ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රීඩා ලෝලීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් පවසන්නේ දිමුත් වෙනු‍වෙන් ගාලු පිටිය අතුරු සිදුරු නැතිව පුරවන්නට පැමිණෙන ලෙසයි.

“දිමුත් යන්නේ හරිම වෙලාවට. මේ වගේ දක්ෂ ක්‍රීඩකයෙක් වෙනුවෙන් ගාලු පිටිය පුරවන්න ඕනේ. ඒ නිසා මගේ විශේෂ ඉල්ලීම සියලු දෙනා අද ගාලු පිටියට එන ලෙසයි” මාලිංග පැවසීය.

තමන්ගේ අවසන් ජාත්‍යන්තර තරගය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම් දී ඇති අතර, එම තීරණය ගත්තේ ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමඟ දීර්ඝ සාකච්ඡාවකින් පසුව බව ද සඳහන් කළේය.

“ක්‍රිකට් ක්‍රීඩාව වගේම මට මගේ පෞද්ගලික ජීවිතේ ගැන සැලැස්මක් තියෙනවා. මම ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගන්න තීරණය කළේ ඇන්ජි, චන්දි වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සමඟ කතා කිරීමෙන් පසුවයි. අපට ටෙස්ට් මැච් අඩුවෙන් ලැබෙන නිසා මට මගේ ඊළඟ ටාගට් එක වන ලකුණු 10000 සීමාව පහු කරන්න නොහැකියි. මට මගේ සමුගැනීම සතුටින් ලබා ගැනීමට අවශ්‍යයි ඒ නිසයි මා එයට මගේ සියවන ටෙස්ට් තරගය තෝරාගත්තේ”

“ආරම්භක පිතිකරු‍වෙක් කියන්නේ අමාරුම ජොබ් එකක්. අලුත් පන්දුවට ගහන්න ඕ‍නේ. පන්දු යවන්නන් හොඳම තත්ත්වයේ ඉන්නකොට නව පන්දුවට මුහුණ දෙන්න වෙනවා. මම මගේ සහායක පිතිකරුට කිවුවේ හොඳ ආරම්භයක් ලබා‍ගෙන විශාල ලකුණු ගණනකට යන සැලසුමක් තිබිය යුතු බවයි”

“2016දී හා 2024දී මා තරමක් අසාර්ථක වුණා. ඒ වෙලාවට මට පුහුණුකරුවන් ගොඩක් උදවු කළා. හිටපු ක්‍රීඩකයන් උදවු කළා. මම ඒවා ප්‍රයෝජනයට ගත්තා. මේක තනියම ආපු ගමනක් නොවෙයි” දිමුත් පැවසීය.

දිමුත් කරුණාරත්න වසර 2012 නොවැම්බර් 17 වැනිදා සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූයේ නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී වන අතර, ඔහුගේ සියවැනි ටෙස්ට් තරගය හා අවසන් ටෙස්ට් තරගය ද එකම ක්‍රීඩාංගණයේදී සිදුවීම දුර්ලභ සිද්ධියකි.

දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරණයේ බලකණුවක් ලෙස කටයුතු කළ 36 හැවිරිදි දිමුත් කරුණාරත්න ටෙස්ට් තරග 99කදී ලකුණු 7172ක් ලබා ඇති අතර, වැඩිම ටෙස්ට් ලකුණු ලැබූ ශ්‍රී ලංකා පිතිකරුවන් අතර සිවුවැනි ස්ථානයේ පසුවේ.