මණ්ඩලය වී මිල නියම කරයි

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය ඊයේ (05) මිල ගණන් ප්‍රකාශ කරනු ලැබීය. ඒ අනුව ප්‍රමිතිගත (වේළන ලද) නාඩු (සුදු/රතු) වී කිලෝවක් සඳහා රුපියල් 120ක මිලක් ද, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125ක මිලක් ද, කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 132ක මිලක් ද වී අලෙවි මණ්ඩලය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම වී මිලදී ගැනීම අද (06) සිට වී අලෙවි මණ්ඩලයේ ගබඩා මඟින් සිදු කෙරේ.

ගොවියාට වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට යන පිරිවැයට සියයට තිහක ප්‍රතිශතයක් එකතු කර මෙම මිල ගණන් සකස් කර ඇති අතර ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීම සඳහා ආණ්ඩුව රුපියල් කෝටි 500ක මුදලක් අනුමත කර තිබේ. වී මිලදී ගැනීම සිදුවන ප්‍රමාණයන් මත එම මුදල් කොටස් වශයෙන් වී අලෙවි මණ්ඩලය වෙත බැර කිරීමට නියමිතය.

වී මිලදී ගැනීමේදී රජයේ ක්‍රියාවලියේදී, පසුගිය වසරට වඩා මෙම වසරේ දී නාඩු (රතු/සුදු), සම්බා සහ කීරි සම්බා සඳහා වැඩි මිලක් ගොවීන් වෙත වී අලෙවි මණ්ඩලය වෙතින් ලබාදී ඇත. පසුගිය වසරේදී නාඩු වී (රතු/සුදු) කිලෝවක් මිලදීගෙන ඇත්තේ රුපියල් 105කට වන අතර, සම්බා වී කිලෝවක් රුපියල් 120කටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිලදී ගෙන ඇත.

වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීමේ මිල ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් ඊයේ (05) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතා ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේ ප්‍රකාශිත මෙම මිල ගණන්වලට අඩුවෙන් කිසිවිටෙකත් තම වී අස්වනු විකිණීම සිදු නොකරන ලෙසයි. වෙළෙඳපොළ පාලනය කිරීමට සමත් වී ප්‍රමාණයක් මිලදී ගැනීමට අපේක්ෂිත බවද ඇමැතිවරයා මෙහිදී කීය.

වී අලෙවි මණ්ඩලයේ ප්‍රකාශිත මිල ගණන්වලට වඩා වැඩි මිලකට යම් මෝල් හිමියෙකු ගොවීන්ගේ වී අස්වනු මිලදී ගන්නේ නම් එයට විරුද්ධ නොවන බවත් වී මිලදී ගැනීමේ මාෆියාවන්ට හසු නොවී තම වී අස්වනුවලට ඉහළ මිලක් ලබා ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය වෙත තම වී තොග ලබාදෙන ලෙසත් ඇමැතිවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

රජයේ වී ගබඩාවන්හි රැස්කර ගන්නා වී තොග අවශ්‍ය මොහොතේදී නිසි පරිදි කුඩා හා මධ්‍ය පරිමාණ මෝල්වලට නිකුත් කිරීමටද වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇතැයි ද ලාල් කාන්ත මහතා කීය. මේ තුළින් පාරිභෝගිකයාට සහල් මිල කළමනාකරණය කර දීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ගොවීන්ට වී සඳහා හොඳ මිලකුත්, පරිභෝගිකයාට සහල් සඳහා සාධාරණ මිලක් ලබා දීමට මැදිහත්වීමේ පළමු සංඥාව මෙය බවද කෘෂිකර්ම ඇමැතිවරයා කීය.

මේ අවස්ථාවට එක් වූ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා පැවසුවේ වී අලෙවි මණ්ඩලය ප්‍රකාශිත වී මිලදී ගැනීමේ මිල, ගොවි නායකයන් හා එම සංවිධාන නියෝජිතයන්ගෙන් අදහස් හා යෝජනා ද ඇතුළත්ව සකස් කළ බවයි. ඇතැම් පළාත්වල මේ වන විට වී අස්වනු කැපීම සිදු නොවන බවත් මෙසේ මිලදී ගන්නා වී ඇටයක්වත් ආණ්ඩුව විකිණීම සිදු නොකරන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.

වී මිලදී ගැනීමේදී යම් යම් ගැටලු උද්ගත වුවහොත් ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය අවශ්‍යතාව පරිදි විසඳුම් ලබා දෙන බවත් පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා අවම මිලකට වී මිලදී ගැනීම සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය මුදා හරින පුවත් සත්‍යයෙන් තොර බව පෙන්වා දුන්නේය. පසුගිය කාලයේ වී මිලදී ගැනීමට වඩා විනිවිදභාවයෙන් යුතුව එම කටයුතු සිදු කිරීම සඳහා වී ගබඩාවන්හි භාරකරුට අමතරව, සංවර්ධන නිලධාරියකු සහ ගොවි නියෝජිතයකුගේ අත්සන් සහිතව වී මිලදී ගැනීම විනිවිදභාවයෙන් යුක්තව සිදු කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය. ගොවීන්ගෙන් මිලදී ගන්නා වී තොග සඳහා දිගු ප්‍රමාදවීම්වලින් තොරව ඉතාම කෙටි කාලයකින් අදාළ මුදල් ලබා දෙන බවද නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මේ අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ගොවි සංවිධාන නියෝජිතයින්ද සහභාගි විය.