ටෙස්ට් ක්‍රීඩාව ක්‍රිකට්වල අභිමානයයි -ධනංජය කියයි

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක අද තරගය සඳහා සහභාගි වන අතර, පළමු තරගයේදී ලකුණු 7ක් සහ ලකුණු 6ක් පමණක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු වෙනුවට ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා පිටියට අවතීර්ණ වනු ඇත.

ශ්‍රී ලංකා සංචිතයට දඟපන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවා ඇති අතර, ඔහු බොහෝවිට අද ක්‍රීඩා කරනු ඇතැයි පැවසේ. ආරම්භක ටෙස්ට් තරගයේදී දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ නිෂාන් පීරිස් වෙනුවට රමේෂ් කණ්ඩායමට එක්කර ගැනීම අපේක්ෂාව වේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී ගාල්ලේදී නවසීලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගයේදී මෙන්ඩිස් කඩුලු හයක් දවාගත් අතර, ඔහු පළමු පෙළ තරග හයක් තුළදී අර්ධ ශතක තුනක් ලබා පිතිකරණ දක්ෂතා පෙන්වා තිබේ.

තරගාවලිය දැනටමත් 1-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ජයගෙන ඇති හෙයින් මේ තරගය ජය ගැනීම ශ්‍රී ලංකා පිලේ එකම අදිටන වී ති‍බේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න තම 100 වැනි ජාත්‍යන්තර තරගයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම මේ තරගයේදී සිදුවීම විශේෂත්වයකි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරග 47ක් පවත්වා ඇති අතර, පළමුව පන්දුවට පහර දුන් කණ්ඩායම් 26 වතාවක් ජයග්‍රහණය කර තිබේ. පළමුව පන්දු යැවූ කණ්ඩායම් 15 වතාවක් ජයග්‍රහණ ලබාගෙන ඇත. ගාලු තණතිල්ල වේග පන්දු යවන්නන්ට පළමු දිනයේ පළමු සැසියේදී සහායක් දුන්නද ඉතිරි දිනවලදී දඟ පන්දු යවන්නන් වාසි ලබා දී ඇත.

එ‍හෙත් ඉනිමකින් හා ලකුණු 242කින් ශ්‍රී ලංකාව පරාජය වූ පසුගිය තරගයේදී දක්නට ලැබුණු පරිදි, උස්මාන් කවාජා සහ ස්ටීව් ස්මිත් ශ්‍රී ලංකා දඟ පන්දු ප්‍රහාරයට එරෙහිව නැඟී සිටියහ. ඔවුන්ගේ ක්‍රීඩා විලාසය ඔස්ට්‍රේලියානුවන්ට දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට උපකාරි විය. මේ හේතුවෙන් ශ්‍රී ලංකා සැලසුම් බිඳී ගියේය.

ගාලු තණතිල්ලේ පළමු තරගයේදී දඟ පන්දු යවන්නන්ට සහයෝගයක් නොදැක්වූ බැවින් මේ දෙවැනි තරගයේදී මුලින් පන්දු යැවුවද පන්දුවට පහර දුන්නද වාසිය ගත යුතු බව නායක ධනංජය ද සිල්වා පැවසීය. ඊයේ ගාලු ක්‍රීඩාංගණයේ පැවති පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා පැවසුවේ මේ සම්බන්ධ‍යෙන් ක්‍රීඩකයන් සමඟ පුළුල් සාකච්ඡාවක් පවත්වන බවය.

“ගාලු තණතිල්ල හැමවිටම දඟ පන්දුවට හොඳයි. මේ තරග‍යේදී අපේ බලාපොරොත්තුවත් ඒකයි. ලකුණු ගනිද්දී පිතිකරුවන් වගකීමක් ගන්න වෙනවා” ධනංජය පැවසීය.

“දිමුත් කියන චරිතය වෙනම එකක්. ලකුණු 7000කට වඩා ගහපු පිතිකරුවෙක්. අමාරු අවස්ථාවලදී ඔහු රට වෙනුවෙන් ඉදිරියට ආපු ක්‍රීඩකයෙක්. ලෝක ටෙස්ට් ශූරතාවලිය මේ තරගයෙන් අවසන්. ඊළඟ ඉලක්කයට යද්දී කණ්ඩායම හදා ගන්න වෙනවා. ඒ පිළිබඳ පුහුණුකරු හා තේරීම් කමිටුව සමඟ සාකච්ඡා කළ යුතුයි. රතු පන්දුවෙන් ක්‍රීඩා කරලා ඉදිරියට එන්න අවස්ථා තියෙනවා. එහෙම ආපු නවක ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ඉන්නවා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තමයි අභිමානයක් තියෙන්නේ. ඒක දන්නා අය හොඳින් මේ රටාව සමඟ ඉන්නවා” ධනංජය ද සිල්වා පැවසීය.