අල්ලස් නඩුවක පැමිණිල්ලට ඇමැති විජිත සාක්ෂි දෙයි

මහජන නියෝජිතයෙක් ලෙස තමාට ජනතාවගෙන් විවිධ ආකාරයේ තොරතුරු සහ පැමිණිලි ලැබෙන බවත් ඒ ආකාරයට ලැබුණු පැමිණිලි කිහිපයක් 2015 වසරේදී අල්ලස් හෝ දූෂණ කොමිසමට ඉදිරිපත් කළ බව ඇමැති විජිත හේරත් මහතා ඊයේ (05දා) කොළඹ මහාධිකරණය හමුවේ අල්ලස් නඩුවක පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දෙමින් කියා සිටියේය.

පිළිගත් ටෙන්ඩර් පටිපාටියට පටහැණිව සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචිව නොමැති පෞද්ගලික සමාගමකට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුතු පැවරීම පිළිබඳව එම මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව යහපාලන ආණ්ඩුව සමයේ කළ පැමිණිල්ලක් අනුව ගොනු කළ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂිකරු මේ බව ප්‍රකාශ කර සිටියේය.

මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ ඊයේ (05දා) නඩුව කැඳවූ අවස්ථාවේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු වන ඇමැති විජිත හේරත් මහතා අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් අදාළ පැමිණිල්ල 2015 වසරේ 13 වැනි දා කළ බව කියා සිටියේය. මෙම සිද්ධියට අමතරව තමා තවත් පැමිණිලි 13ක් කළ බව කියා සිටි‍න ලදි. පොදු දේපොළ අනිසි ලෙස නාස්ති කිරීම වැළැක්වීම සඳහා තමා පැමිණිලි සිදුකළ බවත් ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීම අල්ලස් හෝ දූෂණ කොමිසමේ කාර්යභාරය බව පැමිණිල්ලේ මෙහෙයවීම යටතේ වැඩිදුරටත් සාක්ෂි දෙමින් කියා සිටියේය.

යම් තැනැත්තකුට අයුතුසහගත ලෙස හෝ නීති විරෝධී ලෙස ලාභයක් කිරීමේ අදහසින් 2012/2013 වසර සඳහා ජනජය, සුපර්බෝල් යන ලොතරැයි ප්‍රවර්ධනය කිරීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවකු නොවූ D2S2 ප්‍රචාරක ආයතනය තෝරා ගැනීමට ස්වකීය ධුරය ප්‍රකාරව තීරණයක් ගැනීමට සහභාගී වීම, සේවකයන්, නිලධාරීන් පෙලඹවීමේ චෝදනාව යටතේ හිටපු සභාපති සී.එම්. ජයසුමන චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව නඩු පවරන ලදී.

නීතිපතිවරයා විත්තිකරුට එරෙහිව අධිචෝදනා 4ක් යටතේ 1994 අංක 20 සහ 2018 අංක 22 දරන අල්ලස් පනත යටතේ නඩු පැවරීම සිදුවිය. පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ නිරංජන් ඊරියගොල්ල මහතා පෙනී සිටින ලදී.