නව තාක්ෂණය යොදාගෙන සමස්ත පරිසරයම ආරක්ෂා කිරීමට පියවර ගන්නවා-ඇමැති, වෛද්‍ය ධම්මික පටබැඳි

පරිසරය ආරක්ෂා කිරීම උදෙසා අනුගමනය කළ ගතානුගතික ක්‍රමවේද වෙනුවට නව තාක්ෂණය බද්ද කර ගත් නව ක්‍රමවේද භාවිත කරමින් සමස්ත පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව පරිසර ඇමැති, වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ලෝක තෙත්බිම් දිනය සැමරීම වෙනුවෙන් පරිසර අමාත්‍යාංශයේ සොබාදම් පියස පරිශ්‍රයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කර ඇති ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනෙන් ද පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

පාරිසරික විවිධත්වය තුළ තෙත්බිම්වලට මූලික ස්ථානයක් හිමි වුණා. සෑම රටකම පාරිසරික සමතුලිතතාව රැකගැනීමට තෙත්බිම් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. මානව වර්ගයාගෙන් 60%ක් පමණ වෙරළ ආශ්‍රිතව විශේෂයෙන් සුනාමි වැනි ආපදාවලින් ආරක්ෂා කරන්නේ වෙරළ ආශ්‍රිතව තිබූ තෙත්බිම්වලින්. රැම්සා තෙත්බිම් 2500ක් පමණ මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා. 1978 වගේ වෙනකොට තෙත්බිම් විශාල ප්‍රමාණයක් විනාශ වී ගියා කියලා සංඛ්‍යාලේඛනවල සඳහන් වෙනවා.

‘අනාගතය උදෙසා තෙත්බිම් සුරකිමු’ තේමාවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් මධ්‍යම පරිසර අධිකාරියත් එකතු වෙලා තෙත්බිම් දිනය වෙනුවෙන් සංවිධාන කර තිබෙන ජාතික වැඩසටහනට සහභාගි වීමට ලැබීම ගැන මම සතුටට පත් වෙනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තෙත්බිම් අනාගත පරපුරට උරුම කර දීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනවා. සුන්දර තෙත්බිම් කිහිපයක් නම් කර උරුම කරදීමටත් මේ අමාත්‍යාංශය සමත් වෙලා තියෙනවා. මේ කාර්යය පහසු නෑ.

මුන්දලම, ආනවිලුන්දාව, විල්පත්තුව, කුමන, මාඳු ගඟ‍ ආදී වශයෙන් තෙත්බිම් අප රට සතුව තිබෙනවා. උතුරු පළාත ආශ්‍රිතවත් තෙත්බිම් ගණනාවක් තිබෙනවා. යුද්ධය හේතුවෙන් එම වකවානුවේදී උතුරු පළාතේ තෙත්බිම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අවධානයක් යොමු වුණේ නෑ. තෙත්බිම් පමණක් නොවෙයි සමස්ත පරිසර පද්ධතියම ආරක්ෂා කිරීම අපගේ වගකීමක්.”

නියෝජ්‍ය ඇමැති ඇන්ටන් සරත් ජයකොඩි, අමාත්‍යාංශ ලේකම් රෝහිත උඩුවාවල, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති තිලක් හේවාවසම් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්විණි.

මෙහිදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර මහතා ද අදහස් දැක්වීය. ආරාධිත දේශනය ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනයේ ආචාර්ය චතුරංගි වික්‍රමරත්න මහත්මිය සිදු කළාය.

මෙහිදී වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලද ‘වනදිවි තෙත්බිම’ සඟරාව සහ ‘තෙත්බිම’ පුවත්පත ඇමැති, වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ඇතුළු ආරාධිතයෝ වෙත පිරිනැමීම ද සිදු වූහ. එමෙන්ම ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් පැවැති ඡායාරූප තරගාවලියෙන් ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන්ට තිළිණ ප්‍රදානය කිරීම ද සිදු විය.