එළඹෙන දාහත්වැනිදා ඉදිරිපත් කරන අය-වැය ලේඛනයෙන් රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීමට රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි. රජයේ සේවකයන් දහතුන් ලක්ෂයකට මේ තුළින් සහන සැලසෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. තඹුත්තේගම ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඊයේ (03) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
“සමස්තයක් විදියට රාජ්‍ය සේවයේ පරිවර්තනයක් වෙනුවෙන් ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩලයට සන්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. රාජ්‍ය සේවය සමස්තයක් විදියට කළමනාකරණය කරන්න අවශ්‍යයි කියලා. ඒ වෙනුවෙන් යම් යම් සංශෝධන ගනිමින් ඉන්නවා. එළැඹෙන 17 ඉදිරිපත් කරන අය-වැය ලේඛනයෙන් රුපියල් බිලියන 90ක අති විශාල මුදලක් වැය කරලා රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න තීන්දු කරලා තියෙනවා. 13 ලක්ෂයකට සහන සැලසෙනවා. අපි අවබෝධ කර ගත යුතුයි, විශේෂයෙන් රාජ්‍ය සේවයකයන් අපි මේ ලබාගන්නා ප්රතිලාභවලින් මොන තරම් දේවල් මහජනයාට ආපහු ලබාදිය යුතු ද යන්න පිළිබඳ.“ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.
“රටේ දෙකෝටි විසිලක්ෂයක් අතුරෙන් දහතුන් ලක්ෂයකට සහන සැලසීම සඳහා වැටුප් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය සේවකයන් සහ අනුබද්ධ ආයතනවල කාර්යමණ්ඩල සාමාජිකයන් කල්පනා කළ යුතුයි අපි ලබා ගන්නා වැටුපට ප්රතිලාභ මහජනතාවට මොනතරම් ලබාදිය යුතු ද යන්න සම්බන්ධයෙන්.
සමස්තයක් හැටියට රට ගැන හිතලා රාජ්‍ය සේවකයන් සහ විශ්‍රාමිකයන් වෙනුවෙන් අති විශාල මුදලක් වෙන් කෙරෙනවා. එහි ප්රතිලාභ පෙරළා මහජනතාවට ලබාදිය යුතු ක්‍රමවේදයක් සියලු දෙනා ඇති කර ගත යුතුයි“ යැයි ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.