රටක් ඉදිරියට යෑමට නම් ජනතාව වගේම දේශපාලකයාත් නීතියට බිය විය යුතුයි-කුරුණෑගල, ගල්ගමුව ජනහමුවලදී ජනපති කියයි

රටේ සාමය ආරක්ෂා වුණොත් මන්ත්‍රීවරුත් නිකම්ම රැකෙනවා: 

පොලිස් නිලධාරීන් ඇමැතිට සැලියුට් ගැසුවොත් උසස්වීම් ලැබෙන යුගය නිමා කළා 

රටක් ඉදිරියට ගෙන යෑමට නම් ජනතාව මෙන්ම දේශපාලනඥයන් ද නීතියට බිය විය යුතු බවත්, නීතිය සියලු දෙනාට උඩින් තිබෙන ශිෂ්ටසම්පන්න රටක් ගොඩනැඟීමට ඉවහල් වන්නක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. පොලිස් නිලධාරීන් ඇමැතිවරයාට සැලියුට් ගැසුවොත් උසස්වීම් ලැබෙන යුගය නිමා කර නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට ත්‍යාග සහ උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ ඉකුත්දා (01) පැවති ජනහමු අමතමිනි. අද ලෝකයේ සෑම රටක්ම සහ සෑම ජාත්‍යන්තර සංවිධානයක්ම රජයේ වැඩපිළිවෙළ පිළිබඳ පැහැදී සිටින බව පැවසූ ජනාධිපතිවරයා, ලෝක බැංකුව විසින් මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කරන ලද මුදලින් වැඩිම ප්‍රමාණය ලබන වසරේ වෙන් කිරීමට එකඟතාව පළ කර තිබෙන බවද පැවසීය. මෙහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය. පසුගිය ජනාධිපතිවරණයේ දී විවිධ පාටවල දේශපාලන වේදිකා තිබුණා. දැන් මේ සියලුදෙනා එකට එක් වෙලා තිබෙනවා. ඔවුන් උත්සාහ කරනවා මේ ආණ්ඩුව ස්ථාවර වීමට කලින් මොකක් හරි උගුලක් අටවන්න පුළුවන්ද කියලා. නමුත් මේ ආණ්ඩුව එහෙම වට්ටන්න පුළුවන් ආණ්ඩුවක් නොවෙයි. මේ ආණ්ඩුව ජනතාව එක්වී හදාගත්ත ආණ්ඩුවක්. රූපවාහිනියේ ඉන්න අය ගමේ ජනතාව අතරට යන්නේ නැහැ. එදා මේ ගල්ගමුවේ අපට ඡන්දය නොදුන් ජනතාවත් අද අප කෙරෙහි විශ්වාසය තබමින් ජාතික ජන බලවේගය සමඟ එක්වී සිටිනවා. අපට මේ රටේ පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදාගන්න අවස්ථාව ලැබුණේ බොහෝ කාලයකට පසුවයි. අපි ආණ්ඩුව භාර ගන්නා විට දීර්ඝ කාලයක් අනුගමනය කරන ලද ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති හේතුකොට ගෙන රට විනාශයේ පතුලටම තල්ලු කර දමා තිබුණා. මීට වසර දෙකකට පමණ පෙර තෙල් ටික, බෙහෙත් ටික, ගෑස් ටික ගේන්න ඩොලර් නොතිබූ රටක්, ණය ගෙවා ගන්න බැරිව බංකොලොත්භාවයට පත්වූ රටක් අපට තිබුණේ. ඔවුන් දීර්ඝ කාලයක් මේ රට පාලනය කිරීමේ ප්‍රතිඵලය වුණේ විශාල ලෙස ආර්ථිකය කඩා වැටීමයි. දැන් රටේ ඩොලර් යම් ප්‍රමාණයක් තිබෙනවා. ගෑස් හිඟයක්, තෙල් හිඟයක් නැහැ. නමුත් ආර්ථිකය මුළුමනින්ම සුවපත් වී නැහැ. මේ රට මාස දෙකකින් ගොඩගන්න බැහැ. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර මේ රට ගොඩනැඟිය යුතුයි. අපි මීට වසර දෙකකට කලින් දුක් වින්දා. යළි අපේ රටේ දරුවන්ට කිසි දිනක එවන් ඉරණමක් අත් නොවන අන්දමින් අපි මේ රට හදනවා.

අපි නිල වශයෙන් බංකොලොත්භාවයට පත්ව තිබූ රටක්. අපට ණය ගෙවන්න බැරි රටක් බවට පත්ව තිබුණා. මේ නිසා ක්‍රියාත්මක වෙමින් තිබූ විදෙස් ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් අතරමඟ නැවතුණා. බංකොලොත්භාවයත් සමඟ අපේ රටට ඉදිරියට යන්න බැහැ. ඒ නිසා නැවත අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තිබූ එකඟතා පිළිබඳ සාකච්ඡා කළා. ඉන්පසුව අපි ලබාගත් ණය ගෙවීමට කාලය ලබා දෙන්න කියා පසුගිය දෙසැම්බර් 21වැනිදා අපි ණය අරන් තිබෙන රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය සමාගම් සමඟ එකඟතාවකට පැමිණියා. අපි ලබාගෙන තිබෙන ණය ගෙවන්නේ නැතිව ඉන්නේ නැහැ. එම ණය ගෙවීම ආරම්භ කිරීමට 2028 දක්වා කාලය ලබා ගත්තා. ඒ වගේම අපට ලබාදුන් ණයවලින් යම් ප්‍රමාණයක් කපා හැරීමටත් එකඟතාව ලබා ගත්තා. මේ ක්‍රියාවලිය සමඟ අපි බංකොලොත්භාවයෙන් නිදහස් රටක් බවට පත් වුණා. දැන් අපි ණය නොගෙවෙන රටක් නොවෙයි. 2028 සිට ණය ගෙවන බවට එකඟතාවට පැමිණි රටක්. ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාව නිල වශයෙන් බංකොලොත්භාවයෙන් නිදහස් වුණා. ඉන්පසුව ජපාන රජය සමඟ අපි සාකච්ඡා කළා. අතරමඟ නවතා දමා තිබූ ව්‍යාපෘති 11ම නැවත ආරම්භ කිරීමට ඔවුන් එකඟතාවට පැමිණියා. ඒ අනුව එම ව්‍යාපෘතිවල වැඩ නැවත ආරම්භ කරනවා. ඒ වගේම චීනය සමඟ අපි එකඟතාවක් ඇති කර ගත්තා ක්‍රියාත්මක වන සහ නව ව්‍යාපෘති 76ක් නැවත ආරම්භ කිරීමට. එය ඉතා හොඳ සාධකයක්. ඒ වගේම ඩොලරය රුපියල් 300ට ආසන්නයේ තබා ගැනීමට අපි සමත් වුණා. එය ඉතා වැදගත්. දැන් වසර ගණනාවක් තිස්සේ අපේ රටට වාහන ආනයනය කරන්නේ නැහැ. අපි අද සිට පෞද්ගලික පරිහරණයට වාහන ආනයනය කිරීමට අවසර ලබා දුන්නා. මෙය ඉතාමත් අසීරු සහ ඉතා ප්‍රවේශම්සහගතව කළයුතු කාර්යයක්. මොකද අපට විශාල ඩොලර් ප්‍රමාණයක් නැහැ. වසර පහකින් විතර වාහන ගෙන්වා නැහැ. බලා සිටින සියලු දෙනා වාහන ගෙන්නුවොත් අපේ ඩොලර් සංචිත හිඳෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ඉතාමත් සැලකිලිමත්ව ඒ කටයුතු කර තිබෙනවා. මේ අයුරින් අපි ආර්ථිකයේ විශාල වෙනස්කම් කරමින් තිබෙනවා.

අපට ජාත්‍යන්තර සබඳතා නැහැ කියා විශාල වශයෙන් චෝදනා එල්ල කළා. අපි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඉතා කෙටි කාලයකින් ඉන්දියාවට ගියා. ඉන්දියානු රජය සමඟ එහිදී එකඟතා රැසකට පැමිණි අතර ඒ අනුව ශ්‍රී ලංකාවට ආර්ථික වාසි රැසක් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. අපි ඉන්දියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන් ශක්තිමත් කරගත්තා. ඉන්පසුව චීනයට ගියා. නතර කර තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඔවුන් එකඟතාවකට පැමිණියා. මේ වසරේ මැද අපි මැද පෙරදිග රටවලට ගොස් තෙල් පිළිබඳ එකඟතාවකට පැමිණිය හැකිද කියා සාකච්ඡා කරනවා. අපි පළමුව රටේ ආර්ථිකය ස්ථාවරභාවයට පත් කළා. ඉන් පසුව ජාත්‍යන්තර සබඳතා ඉතා ශක්තිමත්ව ගොඩනැඟීමට කටයුතු කළා. අද ලෝකයේ සෑම රටක්ම, සෑම ජාත්‍යන්තර සංවිධානයක්ම අපේ රජය පිළිබඳ පැහැදීමකින් සිටිනවා.

ආසියානු සංවර්ධන බැංකුව සමඟ අපි සාකච්ඡා කරමින් සිටිනවා.

මහන්සි වෙලා ගම්වල දුප්පත්භාවය නැති කළ යුතුයි. අපි ඒ ජීවිතය හදන්න වෙහෙස වෙනවා. හොඳ ආහාර වේලක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් තිබිය යුතුයි. මානසික නිදහසක් තිබිය යුතුයි. අද ජනතාවට මානසික සුවයක් නැහැ. අපි මානසික සුවය, නිදහස යළි ඇති කරනවා. අපි අද වැඩිපුරම මහන්සි වෙන්නේ හදපු අවුල් ලෙහන්නයි. හිටපු පාලකයන් රටක් පාලනය කර නැහැ.

වරායේ කන්ටේනර් එළියට ගන්න නිසි සැලසුමක් නැහැ. ඉන්දියාව විශාල වුණත් එතරම් කන්ටේනර් වරායට ගන්නේ නැහැ. කල් තියාම කොළඹ වරායේ ප්‍රශ්නයට විසඳුම් දුන් නැති නිසා බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ ව්‍යපෘතියක් ආරම්භ කරනවා. කෙරවලපිටියේ විශාල යාඩ් එකක් හදනවා. ආණ්ඩු අවශ්‍ය එවැනි සැලසුම් සකස් කරන්නයි. 2030 වන විට කන්ටේනර් ලක්ෂ 110ක් ගේන්න සැලසුම් කර තිබෙනවා. දැන් එන එක පාලනය කර ගන්න බැරිව වැඩියෙන් කන්ටේනර් ගෙන්න ගන්න බැහැ. පාස්පෝට් අවුලත් එහෙමයි. ඔහේ රට පාලනය කළ යුගය අප අවසන් කරමින් යනවා.

හිටපු දේශපාලනඥයන් විසින් කළ හොරකම් අප නතර කර තිබෙනවා. නාස්තිය කොතරම් නතර කර තිබෙනවාද? හිටපු අය වියදම් කළ ප්‍රමාණයෙන් අඩක්වත් මම වියදම් කරන්නේ නැහැ. ජනපති මන්දිරවල අපි හෝටල්, සංස්කෘතික මධ්‍යස්ථාන ඇති කරනවා. අද ප්‍රභූ වාහන පෙළපාළි තිබෙනවාද? ඇමැතිවරු පිටුපස යන පොලිසියක් නැහැ. රටේ සාමය ආරක්ෂා කරන පොලීසිය එදා මන්ත්‍රීවරුන් ආරක්ෂා කරනවා. රටේ සාමය ආරක්ෂා වුණොත් මන්ත්‍රීවරුනුත් රැකෙනවා. අත්‍යවශ්‍ය කාර්යයකට හැර කිසිවකුටත් විදෙස් සංචාරවල යන්න බැහැ.

මහජනතාවගේ දේපළ සාංඝික දේපළ වගේ අපි බලා ගන්නවා. අපි සතයක්වත් හොරකම් කරන්නේ නැහැ. හිටපු ජනපතිවරුන්ටත් අපි කිවුවේ යම් කැප කිරීමක් කරන්න විතරයි. ගිය වසරේ එක ජනපතිවරයෙක්ගේ ආරක්ෂාවට පමණක් කෝටි 70ක් වැය කර තිබෙනවා. මාසයකට ලක්ෂ 600ක්. මේවා දරන්න අවශ්‍යද? අද රටේ ගැටුම්කාරී තත්ත්වයක් නැහැ.

අපි රට ශිෂ්ටසම්පන්න කරමු. ජනතාවගේ මුදල් ආරක්ෂා කරමු. පරණ නාස්තිය කළා කියමු. දැන් නොකර ඉන්න. අපි ඒවා වෙනස් කිරීම හොඳ නැද්ද? ජනතාවගේ මුදල් නාස්ති නොකරන දේශපාලනයක් අද රටේ බිහිවී තිබෙනවා. දූෂිතයන්ට එරෙහිව පරීක්ෂණ කරන ආයතන අප විධිමත් කර, පහසුකම් සකස් කර දී තිබෙනවා. පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට ස්වාධීනව පරීක්ෂණ කිරීමට අප නිදහස ලබාදී තිබෙනවා. අද පවුල් පිටින් අත්අඩංගුවට ගැනීම් සිදු වෙනවා. ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම් තමයි බිරිය. අත්අඩංගුවට අරන් තිබෙන්නේ බිරිය ද? පෞද්ගලික ලේකම්වරියද? මේවාට උත්තර ලැබෙමින් තිබෙන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව නිසයි.

අශිෂ්ට රටක අපේ දරුවන්ට ආරක්ෂාවක්, අනාගතයක් නැහැ. නීතියට ජනතාව බිය විය යුතුයි. අපරාධකරුවන් නිදැල්ලේ සිටින විට නීතියට බිය නැහැ. රටක් ඉදිරියට යෑමට නම් නීතියට ගරු කරනවා වගේම නීතියට බිය විය යුතුයි. දේශපාලනඥයන් නීතියට බිය නැහැ. නීතියට ගරු කරන රටක් බවට මේ රට පත් කරනවා. අශිෂ්ට රටකට සංවර්ධනය වෙන්න බැහැ. අශිෂ්ට රටකට අනාගතයක් නැහැ. රටේ නීතිය වෙනුවෙන් වෙහෙස මහන්සි වන පොලිස් නිලධාරීන් සිටිනවා. එදා ඇමැතිවරයාට සැලියුට් ගැහුවොත් තමයි උසස්වීම් ලැබුණේ. ඔබ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. ඔබට අප උසස්වීම් ලබා දෙන්නම් යැයිද පැවසීය.