රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක හිමිගේ පාලි ව්‍යාකරණ ග්‍රන්ථය “නාමාමාලා” මල්වතු හා අස්ගිරි කාරක මහා සංඝ සභාවලට

රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක හිමිපාණන් විසින් සම්පාදනය කරන ලද විවේචනාත්මක පාලි ව්‍යාකරණ ග්‍රන්ථය “නාමාමාලා” කෘතිය සියම් නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්වවල කාරක මහා සංඝ සභාවලට පසුගියදා පිරිනමා තිබේ. කාරක සංඝ සභා රැස්වූ පසු මහානායක හිමිපාණන් වහන්සේගේ ආශීර්වාදය සහිතව නාමාමාලා පිටපත් පිරිනැමීම සිදුවිය. මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අනුනායක අතිපූජ්‍ය ආචාර්ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි සහ අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී ඇතුළු හිමිවරුන් වෙත නාමාමාලා කෘතියේ පිටපත් එහි නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් පිරිනමා තිබේ. නාමාමාලා 1870 දී පළමුවරට මුද්‍රණය කර ඇති අතර දෙවැනි මුද්‍රණයක් 1965 වසරේ දී පළ කර ඇත. පාත්ෆයින්ඩර් පදනමේ නැවත මුද්‍රණයක් වශයෙන් මේ කෘතිය නැවත මුද්‍රණයට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය අනුග්‍රහය දැක්වීය. නාමාමාලා පිටපත් අමරපුර, රාමඤ්ඤ නිකායන් ඇතුළු සියලු පාර්ශ්වයන්ට, විහාරස්ථානවලට හා පිරිවෙන්වලට ද නොමිලේ පිරිනැමීමට නියමිතය.

මහින්ද අලුත්ගෙදර