යාපනයේ මහජන මන්ත්‍රී හා දෙමළ අරිසුකච්චි දේශපාලන පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ අභාවය පිළිබඳ ප්‍රවෘත්තියක් පළ කරන ඉන්දියාවේ “ ද හින්දු” පුවත්පත ඒ මහතා හඳුන්වා දී ඇත්තේ ශ්‍රී ලාංකේය දෙමළ ජනතාවගේ නිදහස, උරුමය හා අයිතිවාසිකම් වෙනුවෙන් දශක හයක් තිස්සේ සටන් වැදුණු අවංක හා ප්‍රතිපත්තිගරුක දේශපාලකයකු හැටියටය. පළමුව කිවයුත්තේ “ ද හින්දු”වැනි පුවත්පතක් මෙබඳු ප්‍රවෘත්තියක් පළ කිරීමෙන් මාවෙයි සේනාධිරාජා මහතාට ද ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට ද යම් ගෞරවයක් හිමිකර දී ඇති බවය. දෙවනුව කිව යුත්තේ සේනාධිරාජා මහතා හඳුන්වා දී ඇති ආකාරය බෙහෙවින් විශිෂ්ට බවය.
“ද හින්දු” පුවත්පත ශ්‍රී ලාංකේය දේශපාලනය ගැන යම් උනන්දුවක් දක්වන බව සත්‍යයකි. එහෙත් බොහෝවිට මෙරට උතුරේ දෙමළ දේශපාලනය ගැන ගෞරවනීය සැලකිල්ලකට එහාගිය විවේචනාත්මක මතයක් එම පුවත්පතට තිබේ. එහෙත් මාවෙයි සෝමසුන්දරම් සේනාධිරාජා දේශපාලකයා ගැන හින්දු කර්තෘ මණ්ඩලයට පැහැදීමක් හා ගෞරවයක් ඇති බව පෙනී යයි. එය වැදගත් හඳුන්වාදීමකි. නීලන් තිරුචෙල්වම්, ලක්ෂ්මන් කදිරගාමර් වැනි ශ්‍රී ලාංකේය දෙමළ දේශපාලකයන් ගැන ද මෙබඳුම ගෞරවනීය හැඟීමක් හින්දු පුවත්පතට තිබූ බව අපට මතකය. ඒ දෙදෙනාම කොළඹ සිට දේශපාලන කටයුතුවල නිරත වූ ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් සේ සැලකිය හැකිය. එහෙත් මාවෙයි සේනාධිරාජා මහතා කොළඹ කේන්ද්‍රීය දේශපාලනයට සම්බන්ධ නැත. ඔහු හැමවිටම සිය දේශපාලනය උතුරට, යාපනයට, ඉන්දියාවට හා ලෝකයට විවෘත කළේය.
මේ සංසිද්ධිය වරදවා වටහාගතයුතු නැත. ඉන් කියවෙන්නේ කොළඹ පදිංචිය ලෙස තෝරාගෙන ප්‍රධාන ධාරාවේ දේශපාලකයකු ලෙස ක්‍රියාකිරීමෙන් තම වර්ගයාට, තම පන්තියට දේශපාලන වශයෙන් ප්‍රයෝජනයක් සිදුවන්නේ නැතැයි මාවෙයි මහතා විශ්වාස කරන්නට ඇත. ඒ මහතාගේ දේශපාලන භාවිතය නිරීක්ෂණය කරනවිට ඔහු විශ්වාස කළ ප්‍රතිපත්ති කිහිපයක් හඳුනාගත හැකිය.
(I)ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ එත්නික් ගැටලුව සංකීර්ණ එකකි. ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට නම්; රටේ විවිධ ප්‍රදේශවල, ජීවත්වන විවිධ අපේක්ෂා සහිත දෙමළ ජනතාව එක සංවිධානයකට හා එක ප්‍රතිපත්තියකට පැමිණිය යුතුය.
(II)දෙමළ ජනයාගේ එත්නික් ගැටලුව විසඳා ගැනීමට නම් අඛණ්ඩ අරගලයක නිරත විය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන මතවාදී අරගලයක් මිස සන්නද්ධ අරගලයක් නොවිය යුතුය.
(III)දෙමළ ජනයාගේ නිදහස, උරුමය, දේශපාලන නිදහස පිළිබඳ ගැටලුව විසඳා ගැනීමේ දී යාපනයේ පාරම්පරික ජනතාවට හා දේශපාලන නායකයන්ට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන්නට අවස්ථාව පැමිණ තිබේ. ඒ වගවීමට අනිවාර්යයෙන්ම අතගැසිය යුතුය.
(IV)ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ගැටලු විසඳාගැනීමේ දී ඉන්දියාව ප්‍රධාන සාධකයක් ලෙස පවත්වාගෙන යා යුතුය. ඒ අනුව ඉන්දීය රාජ්‍යතන්ත්‍රයේ සහයෝගය නිරන්තරයෙන්ම පවත්වාගත යුතුය.
මාවෙයි මන්ත්‍රීවරයා ඉහත සඳහන් ප්‍රතිපත්ති අනුගමනය කරන්නට වූයේ දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් ගෙනගිය අරගලයේ විවිධ අවස්ථාවන් නියෝජනය කළ දේශපාලන ක්‍රියාධරයකු හැටියටය.
(I)1961 දී සත්‍යග්‍රහ ව්‍යාපාරයට සම්බන්ධ විය. 1962 දී දෙමළ ජනයාගේ විමුක්තිය සඳහා වූ තරුණ සංවිධානයට එකතු විය. 1966 සිට 1969 තෙක් දෙමළ ඊළාම් විමුක්ති සංවිධානයේ (T.U.L.F.) ප්‍රධාන ක්‍රියාධරයකු ලෙස ක්‍රියා කළේය.
(II)1970 ගණන් වනවිට අරගලකාරී තරුණ සංවිධානවල ක්‍රියාකාරීත්වයෙන් ඉවත්වන මාවෙයි, ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රවේශ වෙයි. ඔහු තමිල් අරිසුකච්චි දේශපාලන පක්ෂයට එකතුවෙයි. 1989 දී මහමැතිවරණයට ඉදිරිපත් වී පරාජය ලබයි.
(III)2000 සිට 2015 දක්වා පැවැත් වූ සියලු මහමැතිවරණවලින් වැඩි ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තුවට ප්‍රවේශ වන මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා ජීවිත පොත නිමාවට පත්කරන තෙක්ම යාපනය නියෝජනය කළ මහජන මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කළේය.
(IV) 1943 ඔක්තෝබර් 27දා යාපනයේ පිටිසරබද ගම්මානයක දී උපත ලද මාවෙයි 2025 ජනවාරි 29දා හදිසි අසනීප තත්ත්වයක් මත රෝහල්ගතවී ජීවිතයට සමුදෙන්නේ යාපනයේ ශික්ෂණ රෝහලේදීය.
ඔහුට කොළඹ කේන්ද්‍රකොටගත් සැපපහසු ජීවිතයකට මාරුවන්නට ඕනෑවටත් වඩා අවස්ථා තිබිණි. එහෙත් කිසි කලෙක සිය උපන්බිම අතහැර කොළඹට සංක්‍රමණය වූයේ නැත. ඔහු කෝවිලට යමින් පූජා පවත්වමින් තල්අතු පවුරු අතර සිට දෙමළ සංස්කෘතිය ආරක්ෂා කරන්නට ප්‍රයත්න දැරුවේය. නිරන්තරයෙන්ම තම ඡන්දදායකයන්ට හා සමස්ත දෙමළ ජනතාවට ඇහුම්කන් දුන් මාවෙයි, වරෙක සිය ජනතාවගේ ඉඩම් අයිතිය ගැන කතා කළේය. උතුරේ මායිම් නිදහස් ගැන තර්ක කළේය. දෙමළ ජනයාගේ දේශපාලනික නිදහස වෙනුවෙන් ඉන්දියාව බරපතළ වගකීමක් ගතයුතු යැයි තර්ක කළේය.