බෙදීම වෙනුවට සියලු දෙනා එක්විය යුතුයි කියන ජනතා කැමැත්ත කඩ කරන්නේ නෑ
මෙරට දේශපාලනඥයෝ හැමදාම ජනතාවගේ විශ්වාසය කඩ කරන නමුත් බෙදීම වෙනුවට සියලු දෙනා එක්විය යුතු බවට පසුගිය මැතිවරණයේදී මේ රටේ ජනතාව තැබූ විශ්වාසය කිසිසේත්ම කඩ නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එමෙන්ම මෙරට සියලු ජන වර්ගවල සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් සැමරීමට දිනයක් ඔක්තෝබර් මාසයේ සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා කීය.
යාපනය පුස්තකාලය තවදුරටත් දියුණු කිරීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ද පැවසූ ජනාධිපතිවරයා,ජනතාව තැබූ විශ්වාසය ආරක්ෂා කරමින් මේ රටේ හොරකම සහ නාස්තිය, නවත්වන බවත් හොරකම් කළ අයට අනිවාර්යයෙන් දඬුවම් ලබා දෙන බවත් සඳහන් කළේය.
පසුගිය මැතිවරණවලදී විවිධ දේශපාලන වේදිකාවල සිටි අය අද එක්වී තමන් කළ වංචා සහ දූෂණවලට දඬුවම් ලැබීමෙන් බේරීමට සාකච්ඡා පවත්වන නමුත් මේ රටේ ජනතාව ආණ්ඩුව සමඟ සිටිනතුරු ඔවුන්ගේ අරමුණු ඉටුකරගත නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ, යාපනය, වැල්වැටිතුරේ ප්‍රදේශයේ පසුගියදා (31) පැවති සුහද හමුවේදීය.
දූෂිතයන්, හොරුන්ට සහ අපරාධකරුවන්ට නැවත මේ රටේ ඉඩක් නොතැබිය යුතු බවත් පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව අපේක්ෂා කළ යහපත් දේශපාලන සංස්කෘතිය රටේ ගොඩනැඟීමේ වැඩපිළිවෙළ මතු පරපුර වෙනුවෙන් අත්නොහැර ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ජාතිවාදය සහ ආගම්වාදය යළිත් මේ රටට අවශ්‍ය නැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා සියලු ජනතාව ජාතිකත්වයෙන් එක්වන දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම තම රජයේ අරමුණ බව ද කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය.
“පසුගිය ජනාධිපතිවරණයේදී මේ යාපනයේ දිස්ත්‍රික්කයේ විශාල ජනතාවක් අප කෙරෙහි විශ්වාසය තබා ඡන්දය ලබා දුන්නා. ඒ ඡන්දය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව හදන්න ශක්තියක් වුණා. හැබැයි ඊට වඩා ලොකුම ශක්තිය වන්නේ අපේ රටේ ජනතාව එකට එක් කිරීමට ඔබ සියලු දෙනා ඡන්දය ලබාදීමයි. උතුරේ,දකුණේ, නැඟෙනහිර ,කඳුකරයේ සියලු ජනතාවගේ විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් ලංකාවේ පළමු වතාවට නිර්මාණය වුණා. දශක ගණනාවක් තිස්සේ අප රටේ මොන වගේ දේශපාලනයක් ද තිබුණේ? උතුරේ වෙනම දේශපාලනයක්, දකුණේ වෙනම දේශපාලනයක්, නැඟෙනහිර සහ කඳුකරයේ වෙනම දේශපාලනයක් වශයෙන් බෙදී තිබුණා.
අපේ රටේ පැරණි දේශපාලනඥයන් රටේ ජනතාව බෙදන දේශපාලනයක නිරත වුණා. එම බෙදීම යුද්ධයක් ඇති වනතුරු සිදු වුණා. ඒ නිසා අපේ පරම්පරාව යුද්ධ කරගත්තා.අපේ පරම්පරාව අවිශ්වාසය, සැකය, ක්‍රෝධය වපුරමින් ජීවත් වුණා. අපට තවත් බෙදෙන්න අවශ්‍ය නැහැ. ලංකාවේ පළමු වතාවට ආණ්ඩුවක් හැදුණා ජනතාව බෙදෙන එක නවත්වා ජනතාව එකට එක්වන දේශපාලනයක් වෙනුවෙන්.
මේ ගම්වලට මීට පෙර රාජ්‍ය නායකඅපි මෙවර අයවැය ලේඛනයට අලුත් යෝජනාවක් ඇතුළත් කරනවා.අපේ රටේ හැම අවස්ථාවකම තිබෙන්නේ එකිනෙකාට වෙනස් වූ උත්සවයි.දෙමළ සහ හින්දු ජනතාව තෛපොංගල් උත්සවය සමරනවා. බෞද්ධ ජනතාව වෙසක් උත්සවය සමරනවා. ක්‍රිස්තියානි ජනතාව නත්තල සමරනවා. ඉස්ලාම් ජනතාව රාමසාන් සමරනවා. හැබැයි සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් අපි සියලු දෙනා එකතු වෙලා සමරන දිනයක් අපට ඕනෑ. ඔක්තෝබර් මාසයේ මේ සියලු ජන ප්රජාවන්ගේ සංස්කෘතීන්, ආහාර රටා, ජීවන රටා, විලාසිතා, සංගීත, නාට්‍ය මේ සියල්ල එකට එක් කර ජාතියේ මහා මංගල්‍යය සැමරීමට අපි සැලසුම් කර තිබෙනවා.අපි ඈත්වෙලා හිටියට අපේ දරුවන්ට ඈත්වෙන්න දෙන්න හොඳ නැහැ.අපේ පරම්පරා යුද්ධ කරගත්තට අපේ අනාගත පරම්පරාවලට යුද්ධ කරගන්න ඉඩ දෙන්නේ නැහැ.උතුර, නැඟෙනහිර, දකුණ සියලු දරුවන් එකට එක්වන රාජ්‍යයක් බවට අපි මේ රාජ්‍යය පත් කරනවා.
ලංකාවේ පළමු වතාවට පොඩි මිනිසුන්ගේ ආණ්ඩුවක් හැදුණා. මීට පෙර ආණ්ඩු හැදුණේ ලොකු පවුල්වලින්. තාත්තා අගමැති, අම්මා අගමැති, දුව ජනාධිපති. අයියා ජනාධිපති, මල්ලිත් ජනාධිපති. මාමා ජනාධිපති, බෑනාත් ජනාධිපති. පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරුන්ගේ දරුවෝ දෙන්නෙකුත් ජනාධිපති වීමට උත්සාහ කළා.මේ රටේ බලය තිබුණේ ඉහළින් සිටින පවුල් ළඟයි .උඩ සිටින පවුල් අත තිබූ බලය පහළ සිටින පවුල් අතට මාරු කිරීමට පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව තීන්දුවක් ගත්තා. දැන් අපි පොඩි මිනිසුන්ගේ ආණ්ඩුවක් හදා තියනවා.රාමලිංගම් සහෝදරයා,කුමරන් සහෝදරයා අපේ සහෝදරවරු.මේ කිසි කෙනෙක් පවුල්වල බලයෙන් ආපු අය නොවෙයි.සාමාන්‍ය මිනිසුන්ගේ දරුවෝ.මේ ප්‍රදේශයේ විශාල ලෙස වැඩ කරපු, මේ රැස්වීම සංවිධානය කිරීමට විශාල ලෙස වෙහෙස වුණු අපේ රූබන් සහෝදරයා අපි වගේ සාමාන්‍ය මිනිස්සු. එසේනම් දැන් හැදිලා තිබෙන්නේ අපේ ආණ්ඩුවක්. එසේ නම් අපට අභියෝග කිහිපයක් තිබෙනවා.
පළමුකොටම මේ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය නැති කළ යුතුයි.හොඳ නිවාසයක්, ආදායම් මාර්ගයක්, පානීය ජලය, ගමට යන්න පාරක්, දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සුදුසු පාසලක් නැහැ.ධීවර රස්සාව කරන්න විදියක් නැහැ. විශාල ලෙස බැටකන ජනතාවක් මේ ප්‍රදේශවල සිටිනවා.අප සියලු දෙනා එක් වී ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ සියලු ප්‍රශ්න විසඳන්න සූදානම්.
අප මුලින්ම අස්වැසුම දීමනාව වැඩි කළා. ඒ වගේම අස්වැසුම ලබන සියලු පවුල්වල දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමට රුපියල් හය දහසක් ලබා දුන්නා. එපමණක් නොවෙයි සිසුන් 300ට අඩු සියලු පාසල්වල දරුවන්ටත් රුපියල් හයදහසක දීමනාව ලබා දෙන්න අපි තීරණය කළා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමට නම් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. එබැවින් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ඔබ උනන්දු විය යුතුයි. අපි දුප්පත්භාවයෙන් මිදෙමු. දරුවන්ට උගන්වමු.
මේ වසරේ පවතින සියලු ගුරු පුරප්පාඩු සඳහා ගුරුවරුන් බඳවා ගන්නවා. ඒ අනුව ගුරු හිඟය පවතින සියලු පාසල් සඳහා අපි ගුරුවරුන් ලබා දෙනවා. එපමණක් නොවෙයි. යාපනය පුස්තකාලය තවදුරටත් දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් අප ප්‍රතිපාදන වෙන් කරනවා. ග්‍රාමීය අපට යා හැකි හොඳම මාර්ගය අධ්‍යාපනයයි. එබැවින් සිසුන් 250ට අඩු පාසල්වල සියලු දරුවන්ට සපත්තු මිල දී ගැනීම සඳහා රුපියල් තුන් දහසක් ලබාදීමට කටයුතු කරනවා.දිවා ආහාරය සඳහා පාසල්වලින් දරුවන්ට ලබා දුන් රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කරනවා.ලබන වසරේදීත් සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම් ලබාදීමට චීන රජය එකඟ වී තිබෙනවා. ඒ ආකාරයෙන් දරුවන්ට ඉගැන්වීමට අප උපරිම වෙහෙස දරනවා.ඔබ දරුවන්ට ඉගැන්වීමට සූදානම් වන්න.අප ඊට සහාය ලබා දෙන්නම්.
ඒ වගේම තරුණ දරුවන්ට අපි රැකියා දිය යුතුයි.
මේ පළාත්වල තරුණ පරම්පරාව විශාල ලෙස මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වෙමින් සිටිනවා.එය නැවැත්වීම සඳහා අප ඉතා ශක්තිමත් වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. ඒ සඳහා ඔබේ සහාය අවශ්‍යයි. අපි එකතු වී මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරමු.
ඒ වගේම යාපනයේ ජනතාවට විශාල ඉඩම් ගැටලුවක් තිබෙන බව අපි දන්නවා. අපේ ප්‍රතිපත්තිය ජනතාවගේ ඉඩම් ජනතාවට ලබාදීමයි. ආරක්ෂාවට හා සංවර්ධනයට ආණ්ඩුවට ඉඩම් පවරා ගැනීමේ අයිතිය තිබුණත් බොරුවට ඉඩම් තබා ගත නොහැකියි. තවමත් පුද්ගලයන් 1500කට වැඩි ප්‍රමාණයක් අවතැන් කඳවුරුවල සිටින බව අපි දන්නවා.ඔවුන්ගේ වාසස්ථාන කඩිනමින් ලබා දීමට අප කටයුතු කරනවා.ගම්වල මාර්ග පද්ධතිය විශාල ලෙස කඩාවැටී තිබෙනවා.මේ වසරේ අලුත්වැඩියා කර සැකසිය හැකි මාර්ගවලට අවශ්‍ය මුදල් ලබාදීමට අප කටයුතු කරනවා. එසේම පිරිසුදු පානීය ජලය ලබාදීමට ද කටයුතු කරනවා.
පසුගිය මැතිවරණයේදී අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ජනතාවගේ විශාල වුවමනාවක් තිබුණා. අපේ රටේ තිබුණේ ජනතාවට වඩා උඩින් තිබෙන දේශපාලනයක්. ජනතාව සමඟ සමීප දේශපාලනයක් නොවෙයි.ජනතාවගේ ධනය පාලකයන් විශාල ලෙස නාස්ති කළා. අපි ආණ්ඩුවක් ලෙස එය නතර කළා.
අපේ ආගමික අයිතීන් පිළිබඳ සාධාරණත්වයක් තිබිය යුතුයි. ආගම් අපේ විශ්වාසයයි. ඒ පිළිබඳ කිසිවකුට බලපෑමක් කරන්න බැහැ. අපි එම විශ්වාසයට ගරු කළ යුතුයි. අපේ රට ඉදිරියට යන්නේ අපි අතර සමගිය ගොඩනැඟුණොත් පමණයි.ඒ නිසා අපේ ආණ්ඩුව සමගිය ගොඩනැඟීමට විශාල වෙහෙසක් දරනවා. එම සමගිය ඇති කිරීමට හොඳම ධෛර්යය ලබා දුන්නේ ඔබයි.පාරම්පරික දේශපාලනඥයෝ පසුගිය මහමැතිවරණයට ඉදිරිපත් වුණා. වෙනම රටක් අරන් දෙන්නම් කියලා ඡන්දය ඉල්ලුවා.හැබැයි ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කර යාපනය දිස්ත්‍රික්කය අපට ජයග්‍රහණය ලබා දුන්නා.ජනතාව කැමැතියි එකතු වෙන්න.ජනතාව ළඟ ජාතිවාදය,ආගම්වාදය නැහැ.හැබැයි දේශපාලනඥයා ළඟ තිබෙනවා. උතුරේත්,දකුණේත් දේශපාලනඥයන්ගේ පැවැත්ම වුණේ ජාතිවාදයයි.නැවත නැවත එය දකුණේ හිස එසවීමට උත්සාහ කරනවා.නමුත් අපට ජාතික සමගිය අවශ්‍යයි. අපි එකතු වෙමු.අපි හදලා තියන ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක්.අපි තමුන්නාන්සේලා වගේමයි.අපි මේ රට වෙනස් කරමු. අලුත් යුගයකට ගෙන යමු.ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අපි බිඳින්නේ නැහැ.
අපේ රටේ දරුවන්ට ලබාදෙන එන්නතින් හොරකම් කරලා නම්, බාල බෙහෙත් ගෙනවිත් නම්, රෝහල හදන විට, පාර හදන විට සොරකම් කරලා කෝටි ගණන් දේපළ රැස්කරගෙන නම් ඒ ගැන පරීක්ෂණ කළයුතු නැද්ද? දඬුවම් ලබාදිය යුතු ද නැද්ද? එම දඬුවම් ලබාදෙන ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි.දැන් දූෂණයට සම්බන්ධ අය ඔක්කොම එකතු වෙලා.පසුගිය මැතිවරණ වේදිකාවලදී විවිධ වේදිකාවලට බෙදී සිටි අය දැන් එකතු වෙන්න සාකච්ඡා කරනවා.මේ සියලුදෙනා එක් වන්නේ බේරෙන්නයි.නමුත් ඔවුන් එකතු වුණාට, ජනතාව අප සමඟ එක්වී සිටින තුරු ඔවුන්ට මේ වැඩේ කරන්න බැහැ.ඔවුන් එකතු වී උත්සාහ කරන්නේ පරීක්ෂණ කරන එක නැවැත්වීමටයි. එකතු වී දඬුවම් ලබාදීම නවත්වන්නයි.නමුත් ජනතාව අප සමඟ සිටිනවා. අපි දූෂිතයන්ට දඬුවම් ලබා දෙනවා.අපි මේ වැඩපිළිවෙළ අත්නොහැර ඉදිරියට යමු. අපි නිසි සැලසුමක් ඔස්සේ වැඩ කළොත් අපට මේ රට දියුණු කළ හැකියි.නැවත දූෂිතයන්ට, හොරුන්ට, අපරාධකරුවන්ට ඉඩක් දෙන්න එපා.අපි සියලු දෙනා එකට එක්වී මේ රට ගොඩනඟමු.”