යාපනය ජනාධිපති මන්දිරය වඩාත් වැදගත් ව්‍යාපෘතියකට
පොලීසියේ පුරප්පාඩුවලට දෙමළ තරුණයන්ට අවස්ථාව
උතුරට නව කර්මාන්ත කලාප තුනක්
ජනතාවගේ ඉඩම් ජනතාවට හිමි විය යුතු බවත් උතුරේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර කඩිනමින් ජනතාවට නැවත ඉඩම් ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් හෝ ආරක්ෂක හේතූන් මත රටේ ඕනෑම ස්ථානයක ඉඩමක් රජයට පවරා ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ඉඩම් වෙනුවට ජනතාවට අනිවාර්යයෙන් වෙනත් ඉඩම් ලබාදිය යුතු බව ද කියා සිටියේය.
ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට දේශපාලන අධිකාරියත් රාජ්‍ය යන්ත්‍රණයත් සහයෝගයෙන් කටයුතු කළයුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගියදා (31) පැවති යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
යාපනය ජනාධිපති මන්දිරය යාපනයේ ජනතාවට වඩා වැදගත් ව්‍යාපෘතියකට සම්පූර්ණයෙන් නිදහස් කිරීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් සුදුසු යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා මේ සාකච්ඡාවේදී අවධාරණය කළේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩුවලට දෙමළ භාෂාව කතා කරන තරුණ තරුණියන් සඳහා වැඩි අවස්ථාවක් ලබාදෙන බවත් ඊට ඉදිරිපත් වීමට ඔවුන් උනන්දු කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
උතුරු පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට පරන්තන්,මාන්කුලම් සහ කන්කසන්තුරේ ප්‍රදේශවල නව කර්මාන්ත කලාප තුනක් ඇති කිරීමට අවධානය යොමු වී තිබෙන බව ද ඒ සඳහා ආයෝජනය කිරීමට යුද්ධය හේතුවෙන් මෙරටින් පිටව ගිය ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
තවද මෙරට පානීය නළ ජලය අවම වශයෙන් භාවිත කරන පළාත වශයෙන් උතුරු පළාත හඳුනාගෙන ඇති බවත් මේ වනවිට ආරම්භ කර ඇති ජල ව්‍යාපෘති කඩිනම් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළ ජනාධිපතිවරයා, නව ජල ව්‍යාපෘති සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කරන බව ද පැවසීය.
යුද්ධය නිසා අවතැන් වූ පවුල් උතුරු පළාතේ තවමත් සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒ පිළිබඳව සොයා බලා කඩිනම් තීන්දු ගැනීමට ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව විසින් රාජ්‍ය ආයතන පවත්වාගෙනයෑම සඳහා 30,000ක පමණ පුරප්පාඩු පවතින බව හඳුනාගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා බඳවා ගැනීමේ පටිපාටියට අනුව එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවත් එහිදී උපාධිධාරීන්ට ද එම අවස්ථා හිමි වන බවත් සඳහන් කළේය.
උතුරු පළාතේ ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද වත්මන් රජය සැලසුම් කර ඇත.ඒ අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් ඒකාබද්ධ ධාවන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. උතුරු පළාතේ දුම්රිය සේවාව ද සංඛ්‍යාත්මකව වැඩි කිරීමට මෙහිදී අවධානය යොමු විය.
උතුරු පළාත විශේෂකොට සලකමින් සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.ලබන වසරේ ලක්ෂ 25ක පමණ සංචාරකයන් මෙරට සංචාරය කරනු ඇති බවට බලාපොරොත්තු වන බැවින් සංචාරකයන් ආකර්ෂණය කළ හැකි උතුරු පළාතේ නව සංචාරක ස්ථාන හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.
උතුරු පළාතේ රාජ්‍ය සේවාවේ නව බඳවා ගැනීම් දේශපාලන අධිකාරියේ මැදිහත්වීමකින් තොරව පියවීමට කටයුතු කරන බවත්, රාජ්‍ය සේවාව උතුරේ තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. එසේම ධීවර ගැටලුව නිරාකරණය කර ගැනීමට රාජතාන්ත්‍රික වශයෙන් උපරිමයෙන් මැදිහත් වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
උතුරේ ජනතාවගේ විශාල ගැටලු ප්‍රමාණයක් ඇති බව තමන් පිළිගන්නා බව පැවසූ ජනාධිපතිවරයා උතුරේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය,කෘෂි කර්මාන්තය ඇතුළු සමස්ත රාජ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවද සඳහන් කළේය.
යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ධීවර,ජලජ හා සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකර්,ප්‍රවාහන,මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක,ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉලංකුමාරන් කරුණානන්දන්, ආචාර්ය සරවනබවානන්දන් ෂන්මුගනාදන්, රජිවන් ජෙයචන්ද්‍රමූර්ති, ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන්, සමස්ත ලංකා ද්‍රවිඩ සන්ධානයේ (AITC) පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහත්වරුන් ද, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම්,උතුරු පළාත් ප්‍රධාන ලේකම් එල්. ඉලංගෝවන්, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන්,වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහත්වරු ද, උතුරු ප්‍රදේශය භාර ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.