පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක් අගමැතිගේ මූලිකත්වයෙන්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ පූර්ව වටයේ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ඒ ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන්.

මෙහි දී රට පුරා විවිධ ආකාරයට ක්‍රියාත්මක කෙරෙන පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපන ආයතන සියල්ල ඒකාබද්ධතාවකින් යුතුව එක ම ප්‍රතිපත්තියක් මත පදනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කරන අගමැතිවරිය විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම එම ප්‍රතිපත්ති සියල්ල කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ආයතනයේත් ඒකාබද්ධ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහා සූදානම් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරිය උපදෙස් දී ඇති බව සඳහන්.

එම පොදු ප්‍රතිපත්තිය මධ්‍යම රජයට මෙන්ම සියලුම පළාත්වලට ද අදාළ විය යුතු බවත් ඒ තුළ, පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ගුරු මාර්ගෝපදේශ, ගුරු පුහුණු, ගුරු වැටුප්, බඳවාගැනීමේ විභාග වැනි සියලු කාරණා ඇතුළත් විය යුතු බවද සඳහන් වනවා.

එළඹෙන 2026 වර්ෂයේ දී 1, 6 හා 10 ශ්‍රේණිවල නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරන අවස්ථාවේ දී ම මෙම පූර්ව ළමාවිය සංවර්ධන ප්‍රතිපත්තිමාලාව ද ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. ආර්. ඔල්ගා මහත්මියගේ හා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය සමගාමී හා ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන විෂය භාර අතිරේක ලේකම් සුජාතා කුලේන්ද්‍ර කුමාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් නිල කමිටුවක් ද මෙම ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් පිහිටවන ලෙස මෙහිදී යෝජනා වී තිබෙනවා.

පෙරපාසල නිමා වීමෙන් පසු සවස් කාලය හා ගුරු නිවාඩු දිනවල දී දිවා කාලය ගත කිරීමේ දී පෙරපාසල් දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරන ක්‍රමවේදයක් සොයා බැලිය යුතුව තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළ බව සඳහන්.