ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපලන ප්‍රධානි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා (02) යාපනය, මාවිට්ටිපුරම්හිදී සිදු කෙරේ.
යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (29) රාත්‍රියේ දී ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 82 හැවිරිදි වියේ පසුවිය. ඒ මහතා සිය නිවස තුළදීම අසනීප වී බිම ඇදවැටීම හේතුවෙන් රෝහල්ගත කර තිබිණි. 1942 වසරේ ඔක්තෝබර් 27 වැනිදා යාපනය, මාවිත්තපුරම් ප්‍රදේශයේ දී උපත ලද සේනාධිරාජා යාපනය නඩේශ්වරා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති සේනාධිරාජා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් බාහිර උපාධිය සම්පූර්ණ කර තිබේ.
දෙමළ එක්සත් ප්රජාතන්ත්රවාදී පෙරමුණට (TULF) අනුබද්ධ තරුණ පෙරමුණ හරහා සිය දේශපාලන දිවිය ආරම්භ කළ ඔහු 1966 දී තරුණයකු ලෙස දේශපාලනයට පිවිස 1966 සිට 1969 දක්වා දෙමළ එක්සත් ප්රජාතන්ත්රවාදී පෙරමුණට අනුබද්ධ තරුණ පෙරමුණේ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කර ඇත.
1972 වසරේදී දෙමළ එක්සත් ප්රජාතන්ත්රවාදී පෙරමුණට (TULF) අනුබද්ධ තරුණ පෙරමුණේ ලේකම් ලෙසටත් කටයුතු කළ ඒ මහතා, 1969 සිට 1983 දක්වා කාලය තුළ අවස්ථා කිහිපයකදී සිරගතව සිටියේය.
1989 දී පළමු වරට යාපනය දිස්ත්‍රික්කයෙන් දෙමළ එක්සත් ප්රජාතන්ත්රවාදී පෙරමුණ (TULF) යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ මාවෙයි සේනාධිරාජා එහිදී ඡන්ද 2820ක් ලබාගත් නමුත් එවර ඔහුට පාර්ලිමේන්තු වරම් අහිමි විය. අනතුරුව 2000 වසරේදීත් දෙමළ එක්සත් ප්රජාතන්ත්රවාදී පෙරමුණ (TULF) යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ සේනාධිරාජාට එම වසරේ දී ද පාර්ලිමේන්තු මැතිවරණයෙන් ආසනයක් ජය ගැනීමට නොහැකිවූ අතර, එවර ඔහු ඡන්ද 10,965ක් ලබාගෙන තිබුණි. අනතුරුව පැවැත්වූ 2001, 2004, 2010 හා 2015 මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය යටතේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අඛණ්ඩව පාර්ලිමේන්තුවේ සිය ආසනය තහවුරු කර ගැනීමට සේනාධිරාජා සමත් විය.
2001 වසරේ සිට 2020 දක්වා මාවෙයි සේනාධිරාජා පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර, පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ලෙස ඔහු කටයුතු කළේය. ඉලංකෙයි තමිල් අරසු පක්ෂය 1949 දෙසැම්බර් 18 වැනිදා එවක පාර්ලිමේන්තුව නියෝජනය කළ එස්.ජේ.වී. චෙල්වනායගම්ගේ නායකත්වය යටතේ ආරම්භ කර තිබේ.
උතුරු නැඟෙනහිර දෙමළ දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයද පසුගිය සමය පුරාවටම ඉලංකෙයි තමිල් අරසු කච්චි නායකත්වය විසින් දරනු ලැබීය. 1949 වසරෙන් පසුව පැවැත්වූ සෑම මැතිවරණයක් වෙනුවෙන්ම ඉලංකෙයි තමිල් අරසු පක්ෂය තරග කර ඇති අතර, දෙමළ ජාතික සන්ධානය ලෙසට සන්ධානගතව පසුගිය මැතිවරණවලදී ඉලංකෙයි තමිල් අරසු පක්ෂය මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත් විය. ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ සංකේතය වන නිවස ලකුණ දෙමළ ජාතික සන්ධානයේ සලකුණ ලෙසට ලබාගෙන පසුගිය මැතිවරණයන්හිදී දෙමළ ජාතික සන්ධානය මැතිවරණ වෙනුවෙන් තරග කළේය.
2001 වසරේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා 2014 වසරේ සිට ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරනු ලැබීය.
පැවැති අසනීප තත්ත්වයන් මත 2024 වසරේ ජනවාරි මස සිට මාවෙයි සේනාධිරාජා පක්ෂ නායකත්වයෙන් ඉවත්වූ අතර, අසනීපව රෝහල්ගත කරන තෙක්ම ඔහු පක්ෂයේ අනුශාසක හා දේශපාලන කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේය.
මෙරට පැවැති සිවිල් යුද්ධය ආරම්භයේ සිටම අවසානය දක්වා ක්‍රියාකාරී දේශපාලන නායකයකු ලෙස ඒ මහතා කටයුතු කරනු ලැබීය.
යුද්ධය පැවැති සමයේ දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙසට ආර්. සම්බන්ධන් කටයුතු කළ අතර, ආර්. සම්බන්ධන් නැඟෙනහිර පළාතේ ගැටලු වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවේ උතුරු පළාතේ ජනතාවගේ ගැටලු වෙනුවෙන් ඍජු මැදිහත් වීම සේනාධිරාජාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක විය.
යුද සමයේ උතුරු පළාතේ ගැටලු වෙනුවෙන් රජයේ පාර්ශ්වය හා LTTE සංවිධානයේ පාර්ශ්ව සමඟ සාකච්ජා කොට ජනතා ගැටලු විසඳීමට මාවෙයි සේනාධිරාජා ඍජු දායකත්වය සපයන ලදි.