ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්රයාග්රාජ් නුවර පැවැත්වෙන ලෝක ආගමික උත්සව අතරින් වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගි වන විශාලතම ‘කුම්භමේලා‘ උත්සවය අතරතුර සිදුවූ තෙරපීමකින් බැතිමතුන් 40 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. තෙරපීම හේතුවෙන් තුවාල ලැබූ බැතිමතුන්ගේ සංඛ්‍යාව ඊයේ පස්වරුව වනවිටත් තහවුරු වී නොතිබූ අතර, මියගිය ගණන ඉහළ යනු ඇතැයි ද බලධාරීන් අනුමාන කර තිබේ. කුම්භමේලා උත්සවයට සහභාගි වන බැතිමතුන් වෙනුවෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතය ද ඇතුළත්ව අතිවිශාල ආරක්ෂක හමුදාවක් සහ ගිනි නිවන හමුදාව ඇතුළු හදිසි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් ද ඉදිකිරීමටත්, වෛද්‍යවරු ඇතුළු අතිවිශාල කාර්ය මණ්ඩලයක් ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලැබුවද බැතිමතුන්ගේ පහසුකම් සම්බන්ධව දුර්වලතා පැවැති බවට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජයට බැතිමතුන්ගෙන් චෝදනා එල්ල වූ බවද වාර්තා වේ. පසුගිය 13 වැනිදා ආරම්භ වූ මේ උත්සවය ලබන මස 26 වැනිදා දක්වා පැවැත්වෙන අතර, මිලියන ගණනාවක ලෝක හින්දු බැතිමතුන් කුම්භමේලා උත්සවයට සහභාගි වෙමින් සිටින බව වාර්තා වේ.