ඔස්ට්‍රේලියාවෙන් පැමිණි අති විශාල ප්‍රේක්ෂක සමූහයකගේ සද්ද මැද්දේ ද්විත්ව ශතකයකින් හා ශතක 2කින් පිරී ගිය ඔස්ට්‍රේලියා ලකුණු පුවරුව ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිමක වැඩිම ලකුණු වාර්තාව පසු කළේය. සංචාරක පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ ඔස්ට්‍රේලියානු පිල කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 654ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූ අතර, දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් බිඳ වැටී ලකුණු 44ක් ලබා සිටියේය.
ආරම්භක පිතිකරුවන් වූ ඕෂධ හා දිමුත් යන දෙදෙනාම අසාර්ථක වෙද්දී මැතිව්ස්ට ද ඒ ආකාරයේ ඉරණමක් අත්වී ලකුණු 7කට දැවී ගියේය. ලෝක ටෙස්ට් පිටියේ නැඟී එන ක්‍රීඩක සම්මානය දිනූ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 13ක් හා දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 9ක් ලබා දිනය නිමාවෙද්දී කඩුල්ලේ රැඳී සිටියහ.
ඔස්ට්‍රේලියානු පිලේ ප්‍රහාරය දැඩි වූ අතර ඉනිම පුරා හයේ පහර 6ක් හා හතරේ පහර 54ක් එල්ල කළේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ ටෙස්ට් තරගයේ පළමු දිනයේ ඔස්ට්‍රේලියාව කඩුලු 2කට ලකුණු 330ක් ලබා සිටි අතර, ඊයේ දෙවැනි දිනයේ තවත් කඩුලු 4ක් දැවී ලකුණු 324ක් එක්කර ගත්තේය.
ඒ සමඟම මෙයට වසර 30කට පෙර ඔස්ට්‍රේලියාව පර්ත්හිදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5කට ලකුණු 617ක් ලබා පිහිටුවා තිබූ ඉනිමක වැඩිම ලකුණු වාර්තාව ඊයේ මැකී ගියේය.
ආරම්භක පිතිකරු උස්මාන් කවාජා ද්විත්ව ශතකයක්, නායක ස්ටීව් ස්මිත් හා මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ජොස් ඉංග්ලිෂ් ශතක වාර්තා කරමින් ඔස්ට්‍රේලියාව ඉහළට ඔසවා තැබූහ.
මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ ජොස් ඉංග්ලිෂ් ටෙස්ට් පිටියේ එවැනි දස්කමක් දැක්වූ 118 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක්වූවේය. පන්දු 94කදී හයේ පහරක් හා හතරේ පහර 10ක් සමඟ ලකුණු 102ක් ලබාගත් ඉංග්ලිෂ් ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට කමිඳු මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබාදී දැවී ගියේය. මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් ලැබූ 21ක් වැනි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා ජොස් ඉංග්ලිෂ් වූ අතර, අවසන් වරට 2015දී මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් ලැබූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා වූයේ ඇඩම් වෝජස්ය.
ඔස්ට්‍රේලියානු පිතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන් කදිමව පාලනය කරගත් අතර, ටෙස්ට් ඉනිම 33කට පසු ශතකයක් ලබාගත් උස්මාන් කවාජාගේ අනාගතය මේ ඉනිමෙන් පසු තහවුරුවීම ඔහු පෞද්ගලිකව ලැබූ සහනයකි. එක දිගට ඉනිම 33කදී අර්ධ ශතක 4කට සීමාවී අසාර්ථක පිතිකරුවකු ලෙස හංවඩු ගසා සිටි කවාජා ලබාගත් ද්විත්ව ශතකය ශ්‍රී ලංකාවේදී ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.
වැඩි වශයෙන් ‘රිවර්ස් ස්වීප්’ පහර එල්ල කළ කවාජා හයේ පහරක් හා හතරේ පහර 16ක් සමඟ පන්දු 352කදී ලකුණු 232ක් ලබාගත් අතර, එය ඔහුගේ 16 වැනි ටෙස්ට් ශතකය ලෙස වාර්තා පොත් අලුත් කළේය. මෙයට පෙර හොඳම ටෙස්ට් ඉනිම ලෙස කවාජා දකුණු අප්‍රිකාවට එරෙහිව 2023 වසරේ සිඩ්නිහිදී නොදැවී ලකුණු 195ක් ලබා සිටියේය. නායක ස්ටීව් ස්මිත් පන්දු 251කදී හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් සමඟ ලකුණු 141ක් ලබාගත් අතර, වැන්ඩර්සේ එවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර, ඔහු තම 35 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළේය. පළමු දිනයේදී ටෙස්ට් ලකුණු 10,000 පසු කළ සිවුවැනි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා බවට පත්වූ නායක ස්ටීව් ස්මිත් ශ්‍රී ලංකාවට එරෙහිව 3 වැනි ටෙස්ට් ශතකය සටහන් කළේය. ස්මිත් හා කවාජා අතර තෙවැනි කඩුල්ලට පන්දු 419කදී ලකුණු 266ක සබඳතාවක් එක් කිරීම ද ශ්‍රී ලංකාවට එරෙහි තවත් වාර්තාවක් විය. මෙයට පෙර 2004 වසරේ මහනුවරදී පැවැති ටෙස්ට් තරගයේදී ඇඩම් ගිල්ක්‍රිස්ට් සහ ඩේමියන් මාටින් අතර පැවති ලකුණු 200 සබඳතාව මේ දෙදෙනා අබිබවා ගියහ.
ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට යෝග්‍ය තත්ත්වයකින් හැසිරෙන අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කල්පනාකාරීව ලකුණු රැස් කළ යුතුව ඇත. ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ දමන්නට සමත් පළපුරුදු පන්දු යවන්නන් ඔස්ට්‍රේලියාව සතුව සිටින හෙයින් මේ ටෙස්ට් තරගයේ තීරණාත්මක දිනය අද දවස වනු ඇතැයි විචාරක මතය වේ.
ගාලු තණතිල්ල දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් වුවද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දින දෙකේදීම සහයෝගයක් නොතිබිණි. ඉදිරියෙන්ම සිටින දඟ පන්දු යවන්නා වූ ප්‍රභාත් ජයසූරියට එරෙහිව ලකුණු 193ක් ඔස්ට්‍රේලියානුවන් ලබාගත් අතර, ඔහු දවා ගත්තේ කඩුලු 3ක් පමණි. ඉතිරි කඩුලු 3 ලබාගත් ජෙෆ්රි වැන්ඩර්සේගෙන් ලකුණු 182ක් සොරා ගත් අතර, කඩුලු දවා නොගත් දඟ පන්දු යවන නිශාන් පීරිස් ලකුණු 189ක් ලබා දුන්නේය.
තරගයේ තෙවැනි දිනය අදයි.