එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය එකතු වීම සඳහා තිබූ කාලය ප්‍රමාදවී ඇති බවත්, ප්‍රමාද වී හෝ එකතු වීමට සාකච්ඡා කිරීම හොඳ බවත් මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (30) එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය ආශීර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙලෙස ද කීහ.
“එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු බොහෝ පක්ෂ දැන් දෙකට තුනට කැඩිලා. දැන් පක්ෂ කැඩී යෑම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙලා.
මීට පෙරත් එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීමක් ගැන පක්ෂ දෙකේ කතා බහක් නිර්මාණය වුණා. නමුත් ඒවා සාර්ථක වූ බවක් පෙනෙන්නට තිබුණේ නෑ.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය තනි පක්ෂයක් ලෙස පැවති එක්සත් ජාතික පක්ෂය දෙකඩවෙලා පසුව යළි එකතු වීමක් ගැන මම 2020 ඉඳලා කතා කළා. දෙපැත්තේම පැවති යම් යම් අඩුපාඩු නිසා එය දිනෙන් දින පස්සට ගියා. රට ආර්ථික අතින් වැටුණු අවස්ථාවේ තනතුරු සහ ජයග්‍රහණ පසෙක තබා රට සහ ජනතාව ගැන සිතා පක්ෂ දෙකට එකතු වීමට තිබුණා.”
මේ අවස්ථාවට මහනුවර හිටපු පුරපති කේසර සේනානායක, මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ශාන්තිනී කෝන්ගහගේ, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
එම පිරිස අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියෝ ද බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.