ලෝකයේ ඇතැම් රටවල සිදු කර ඇති ආකාරයට වයස අවුරුදු 18ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ හෝ සීමා කිරීමේ නීතියක් ගෙන ඒමට ප්‍රතිපත්ති සම්පාදකයන් දැනුම්වත් කරන බව ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසීය.
නිල නොවන දත්තවලට අනුව පසුගිය වසරේ දී වයස අවුරුදු 18ට අඩු දරුවන් 200කට ආසන්න සංඛ්‍යාවක් සියදිවි නසාගෙන ඇති බවට වාර්තා වන බවත්, මෙම සියදිවි නසා ගැනීම්වලට සමාජ මාධ්‍ය භාවිතය හේතුවක් විය හැකි බවත් පැවසූ ඒ මහතා මේ නිසා ප්‍රතිපත්ති සම්පාදකයන් දැනුම්වත් කිරීමට තීරණය කළ බවත් කීවේය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ඊයේ (30) ප්‍රකාශ කළේය. වසරකට 313,000ක් පමණ මෙරට කාන්තාවන් ගර්භිණීභාවයට පත් වන අතර ඉන් 250,000ක පමණ සජීවී දරු උපත් සිදු වුවත් ඔවුන් සියලු දෙනා නීරෝගි වැඩිහිටියන් නොවන බව ද ඒ මහතා පැවසුවේය.
අවුරුදු 5ට අඩු දරුවන් 3300ක් පමණ විවිධ හේතූන් නිසා වාර්ෂිකව මරණයට පත් වන බවත් මෙරට දරුවන්ගෙන් 30%ක් පමණ ස්ථූලතාවෙන් පෙළෙන බවත් ඒ මහතා පැවසීය.
මළ දරු උපත් වළක්වා ගැනීම සඳහා වන කොළඹ ප්රකාශනය බලාත්මක කිරීමට ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන් එක්ව කටයුතු කරන බව වෛද්‍ය කපිල ජයරත්න මහතා පැවසීය.
කොළඹ ප්රකාශනය බලාත්මක කිරීමෙන් මාරාන්තික උපත් ආබාධ සහිත කලල ගබ්සා කිරීමට හැකි වන බවත් මෙම ප්රකාශනය බලාත්මක කිරීමට වසර 20ක පමණ සිට උත්සාහ දැරුවත් මෙතෙක් එය කර ගැනීමට නොහැකිව ඇති බවත් ඒ මහතා පැවසුවේය.