වී අලෙවි මණ්ඩලය හොර ගුහාවක් ලෙස මෑත කාලයේ මතයක් ගොඩනැඟුණු බවත්, ඒ මතය පරාද කිරීමට එහි සභාපතිවරයා ප්‍රමඛ කාර්ය මණ්ඩලයට හැකිවනු ඇති බව තමන් විශ්වාස කරන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (29) වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“එවැනි මතයක් ජනතාව අතර ගොඩනැඟීමට ප්‍රධාන හේතු වූයේ පසුගිය කාලයේ පැවැති දේශපාලන තත්ත්වයන්. එයට වී අලෙවි මණ්ඩලයේ සේවක සේවිකාවන්ට පමණක් දොස් නැඟීම යුක්ති සහගත නෑ. වී මෝල් පමණක් නොව වී ගබඩා කරන සියලුම පාර්ශ්ව ලියාපදිංචි විය යුතු බවට නියෝග නිකුත් කර තිබෙනවා. පවතින පනත අනුව වී ගබඩා පවත්වාගෙන යන්නන් ලියාපදිංචිය මෙතෙක් නොකළත් කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් මා ඔවුන්ගේ ලියාපදිංචිය අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවට නියෝග කළා.
වී අලෙවි මණ්ඩලය හොර ගුහාවක් යනුවෙන් මෑත කාලයේ ජනතාව අතර මතයක් ගොඩනැඟී තිබෙනවා. එයට මේ ආයතනයේ වැඩ කරන අය පමණක් වගකිවයුතු නෑ. පැවැති දේශපාලනය මේ සඳහා මුළුමනින්ම වගකිවයුතුයි. වී අලෙවි මණ්ඩලයේ නව සභාපතිවරයා ප්‍රමඛ නිලධාරී මණ්ඩලය, සේවක සේවිකාවන් සමඟ එක්ව මේ මතය පරාද කරනු ඇතැයි මා විශ්වාස කරනවා. ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනා ගැනම අපට වගකීමක් තිබෙනවා. දැනට සහල් සඳහා පාලන මිලක් තිබෙනවා. නමුත් වී සඳහා සහතික මිලක් දැන්ම පනවන්නට අපට අදහසක් නෑ. ව්‍යාපාරිකයන්ට වී කිලෝවක් රුපියල් 120ක් 130ක් වැනි මිලකට ගොවීන්ගෙන් ගැනීමට කිසිදු තහනමක් නෑ. තෙත වී එක ඇටයක්වත් රජයට නොදෙන බවත්, ඒවා පෞද්ගලික අංශයට දෙන බවත් එක ගොවි නායකයෙක් ප්‍රකාශ කර තිබුණා. අපට තෙත වී එපා. වී අලෙවි මණ්ඩලයට තෙත වී මිලදී ගැනීමට හැකියාවක් නෑ. අවශ්‍යත් නෑ. අපට බලතල තිබෙන්නේ ප්‍රමිතිගත වී මිලදී ගැනීමටයි. වී මිල සම්බන්ධයෙන් දැනට ප්‍රශ්නයක් නෑ. නමුත් තව දින කිහිපයකින් ඒ ප්රශ්නය උද්ගත වේවි. එවිට වී අලෙවි මණ්ඩලය ඒ සඳහා මැදිහත් වෙනවා. ඒ වී මිලදී ගැනීම් වෙනුවෙන් ගබඩා සූදානම් කළ යුතුයි. වී සහතික මිල ප්‍රකාශයට පත් කළ යුතුයි. වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ ඒ සඳහා සූදානම් බවයි. මෙතෙක් සිදු වූයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයේ මාගල අකුලා දමා පෞද්ගලික අංශයේ මාගල දිග හැරීමයි. දැන් අප සූදානම් වන්නේ පෞද්ගලික අංශයේ මාගල අකුලා දමා වී අලෙවි මණ්ඩලයේ මාගල දිග හැරීමටයි. එයින් මා අදහස් කරන්නේ නෑ පෞද්ගලික අංශය වී මිලදී ගැනීමේ කටයුතු සඳහා අනවශ්‍යයි කියලා. පෞද්ගලික අංශයත් මේ සඳහා තිබිය යුතුයි. ඒත් අපේ අරමුණ වන්නේ වී අලෙවි මණ්ඩලය නමැති තරගකාරී ආයතනය බිහිකිරීමයි. පසුගිය රජයන් සමයේ අක්‍රීයව පැවැති වී අලෙවි මණ්ඩලය යළිත් සක්‍රිය තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය පියවර කඩිනමින් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා.”