2024 වසරේ දෙවතාවක් සහ මේ වසරේ එක් අවස්ථාවක විදුලි බිල අඩු කිරීමට රජය ගත් තීරණයත් සමඟ ධන අගයක් ගත් උද්ධමනය ඍණ අගයක් ගනිමින් අවධමනයක් බවට පත්වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
උද්ධමන අගය ක්‍රමිකව මේ වසර මැද වනවිට 5%ක මට්ටමට තබා ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය. 2025දී ජනවාරි මාසයේදී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි අගයකින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන් ඉදිරියේදී තවදුරටත් අවධමනයක් වාර්තා වනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ පෙරේදා (29) පැවති මේ වසරේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය.
2024 දෙසැම්බර් මාසයේදී අඛණ්ඩව හත්වෙනි මාසයටත් මෙරට උද්ධමනය ඍණ අගයක් ගනිමින් අවධමනයක් පැවති බව මෙහිදී මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අපේක්ෂාව වසර මැදදී තනි මැද ඉලක්කමකට නැතිනම් 5%ක මට්ටමකට උද්ධමනය පවත්වා ගැනීම බව හෙළිදරවු කළ අධිපතිවරයා, ඒ අනුව මෙවර මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වෙනස් නොකිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය. මෙලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව තබාගැනීමෙන් සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකය පහත යෑම අඛණ්ඩව සිදුවනු ඇතැයි අධිපතිවරයා විශ්වාසය පළ කළේය. ඉදිරියේදී අඩු වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකය සමඟින් ආර්ථික ක්‍රියාකාරකම් වේගවත් කිරීමට පෞද්ගලික අංශයට වැඩි වශයෙන් ණය ලබා ගැනීමට අවස්ථාව උදාවනු ඇතැයි ද, මහ බැංකුව ගනු ලබන පොලී අනුපාත අඩු කිරීමේ ප්‍රතිපත්තියේ වාසිය ජනතාවට ලැබෙමින් පවතින බව ද කීය. විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් බිලියන 6.6ක් විය. පසුගිය වසරේදී එය බිලියන 6.0කි. වසර 2022දී එම අගය ඩොලර් බිලියන 3.8කි.
වසර 2024 සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 3.2ක් විය. වසර 2023දී එය ඩොලර් බිලියන 2.1කි. 2022 වසරේදී එම අගය ඩොලර් බිලියන 1.1ක් විය.
වසර 2024 අවසානයේදී දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.1ක් වූ බව අධිපතිවරයා පැවසීය.
විනිමය අනුපාතිකය පිළිබඳ අදහස් දැක් වූ අධිපතිවරයා, වසර 2024 පුරාවට ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 10.7%කින් අතිප්‍රමාණය වී ඇතැයි කීය. එය මේ වසරේ මුල් මාසයට සාපේක්ෂව 1.8%කින් අවප්‍රමාණය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය මීට පෙර අඩු කිරීම නිසා පෞද්ගලික අංශය වෙත ණය ලබාදීම වැඩිවී ඇත. 2024දී රුපියල් බිලියන 790ක මුදලක් පෞද්ගලික අංශයට ණය වශයෙන් මුදල් ලබාදී ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව 10.7%ක වැඩිවීමකි.
2022 ඍණ 7.3ක් වූ ශ්‍රී ලංකා ආර්ථිකය වසර 2023දී ඍණ 2.3ක් දක්වා වර්ධනයක් වාර්තා කළේය.2024 හතරවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ දත්ත මෙතෙක් ලැබී නොමැති නිසා නිසි ලෙසම කොපමණ ප්‍රතිශතයකින් ආර්ථිකය වර්ධනය වූයේ දැයි කිව නොහැකිය. ඒ අනුව 3.5%ක් හෝ 4%ක ආර්ථික වර්ධනයක් සිදුවී ඇතැයි මේ වසරේ පළමු කාර්තුව නිමා වන විට පැහැදිලිව ප්‍රකාශ කළ හැකි බව ද අධිපතිවරයා කීය.
2025 ජනවාරි 28 පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ තීරණයට අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8%ක් ලෙස දැනට තිබෙන මට්ටමේ පවත්වා ගැනීමටත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% මට්ටමේ පවත්වා ගැනීමටත් තීරණය කළ බව අධිපතිවරයා අවසන් වශයෙන් සඳහන් කළේය.