ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා වැඩි වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය, කීට විද්‍යා නිලධාරින්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා ඊයේ (30) පැවසීය.
ඩෙංගු මදුරු ඝනත්වය මනින බිටෝ දර්ශකය 15ත් 20ත් අතර පවතින බවත් එය වසංගත තත්ත්වයක් පෙන්නුම් කරන තත්ත්වයක් බවත් ඒ මහතා පැවසුවේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවට අනුව මෙම බිටෝ දර්ශකය පැවතිය යුත්තේ ඒකක 2ක අගයකින් යුක්තව බවත් නමුත් ශ්‍රී ලංකාව මෙම දර්ශකය 5ට වත් තබාගැනීම වැදගත් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ඩෙංගු රෝගය වසංගත තත්ත්වයක් දක්වා ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා විවිධ වැඩසටහන් සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් ක්‍රියාත්මක කර ඇතැයි ද ඒ මහතා පැවසීය.
මේ දිනයන්හි පරිසරයේ පවතින අඳුරු පැහැති ස්වභාවයත් සමඟ ඩෙංගු මදුරුවා ගැවසෙන වෙලාවේ වෙනසක් සිදු විය හැකි බවත් එය හැමදාටම පවතින තත්ත්වයක් නොවන අතර, පරිසරයේ පවතින කාලගුණික ස්වභාවය අනුව වෙනස් වන බවත් ඒ මහතා පැවසුවේය.
ඩෙංගු වයිරස් කාණ්ඩ දෙක ආසාදිත පුද්ගලයන් වාර්තා වීම සාමාන්‍ය පරිදි සිදු වන බවත් මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පරිසරය පිරිසුදුව පවත්වා ගන්නේ නම් ආසාදිතයන් වාර්තා වීම අවම කර ගත හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මේ වසරේ ගත වූ දින 28 තුළ දී ඩෙංගු ආසාදිතයන් 4499ක් වාර්තා වී ඇති අතර, මරණ 2ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.