ලක්විජය බලාගාරයේ අධීක්‍ෂණ චාරිකාවකට බලශක්ති ඇමති යයි

ශ්‍රී ලංකාවේ දෛනික විදුලිබල අවශ්‍යතාවයෙන් දළ වශයෙන් 40% පමණ සපුරන ලක්විජය බලාගාරය මෙරට විදුලි පද්ධතිය අඛණ්ඩව හා ස්ථාවරව පවත්වාගෙන යෑමට දක්වන දායකත්වය සැලකිල්ලට ගනිමින්, බලාගාරය ඉහළම තත්වයෙන් යුතුව අවශ්‍ය නඩත්තු කටයුතු හා ‍ක්‍රමවේද භාවිත කරමින් පවත්වාගෙන යායුතු බවට බලාගාරයේ ඉහළ පාලනාධිකාරිය වෙත බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා උපදෙස් දෙයි.

ඊයේ (30) නොරොච්චෝල ලක්විජය බලාගාරයේ අධීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

තවද, බලාගාරයේ ඉංජිනේරුවරුන්, නිලධාරීන් හා සේවකයින් සමග සුහද සාකච්ඡාවක නිරත වූ අමාත්‍යවරයා විදුලි බල මණ්ඩලය ප‍්‍රතිව්‍යහුගත කිරීම සම්බන්ධයෙන් අදහස් ප‍්‍රකාශ කළ අතර, සේවක ගැටළු පිළිබඳවද සිය අවධානය යොමු කළේය.

2006 වසරේ ආරම්භ කරන ලද නොරොච්චෝල ලක්විජය බලාගාරය ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 900 ක ධාරිතාවයක් ලබාදෙමින් මෙරට ඉදිකරන ලද පළමු ගල් අඟුරැ විදුලි බලාගාරය වන අතර, මෙහි පූර්ණ අයිතිය ලංකා විදුලි බල මණ්ඩලය සතුය.

මෙම අවස්ථාව සදහා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජනන) නාලක විජේකෝන් මහතා, බලස්ථාන කළමනාකරු පී. ඩබ්. බමුණුසිංහ මහතා ඇතුලූ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.