මැලේසියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අවුරුදු 19න් පහළ යොවුන් කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග දෙක අද (31) ක්වාලාලම්පූර් නුවර බයුමස් ඕවල් පිටියේදී පැවැත්වේ.
මේ තරග ද්විත්වයෙන් වැඩි අවධානයක් හිමිව ඇති පළමු වරට පැවති (2023) යොවුන් කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශූරියන් වූ ඉන්දියාව සමඟ එවර අනුශූරියන් වූ එංගලන්තය ගැටෙන දෙවැනි අවසන් පූර්ව තරගය මෙරට වේලාවෙන් දහවල් 12.00ට ආරම්භ වෙයි. මේ කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ අපරාජිතයන් ලෙස අවසන් පූර්ව වටයට පිවිසීම විශේෂත්වයකි.
ඉන් පෙර පළමු අවසන් පූර්ව තරගය මෙරට වේලාවෙන් පෙරවරු 8.00ට ආරම්භ වන්නේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතරය. දකුණු අප්‍රිකාව තරගාවලියේ අපරාජිතයන් ලෙස අවසන් පූර්ව වටයට පිවිසි අතර, ඔස්ට්‍රේලියාව සුපිරි 6 වටයේදී ශ්‍රී ලංකාව හමුවේ (ලකුණු 12කින්) පමණක් පරාජය විය. ඔස්ට්‍රේලියාව පළමු තරගාවලියේ සිව්වැනි තැනට පත්වූ අතර, දකුණු අප්‍රිකාවට හිමිව තිබුණේ 6 වැනි ස්ථානයයි.
මේ තරග ද්විත්වයේ ජයග්‍රාහකයෝ ලබන ඉරිදා (2) දහවල් 12.00ට බියුමස් ඕවල් පිටියේදීම අවසන් මහ තරගයට එක්වනු ඇත.