මෙරට සැඟවුණු වත්කම් සොයාගැනීමට එක්සත් ජාතීන්ගේ සහයෝග​ය

රජය බලාපොරොත්තුවන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතන​ය සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමග ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කර ඇති අතර, දූෂණ වංචා වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළට සම්පූර්ණ සහාය දීමට සූදානම් බවයි එහි නේවාසික සම්බන්ධීකාරක Marc-André ප්‍රකාශ කර තිබෙන්නේ.

එහිදී ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකා සමුද්‍ර තීරයේ දී බේරාගත් රෝහින්යා සරණාගතයින්ට මානුෂික අයුරින් සලකන ලද ආකාරය ඔහුගේ ප්‍රශංසාවට ලක්ව ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ප්‍රකාශ කර තිබෙනවා.

නව රජය විසින් බලාපොරොත්තු වන සැඟවුණු වත්කම් සොයාගැනීමේ කාර්යය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවල සහය ලබා දීමට සූදානම් බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ පැවති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ.