ඉන්ධන පිරවුම්හල් හිමියන් හට 3%ක අයුතු ලාභයක් ලැබීමේ අරුම පුදුම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම, රුපියලේ අගය ඉහළ පහළ යෑම සහ ආණ්ඩුව ජනතාවගෙන් බදු වශයෙන් අය කර ගන්නා මුදල වැඩි කිරීම වැනි බාහිර ක්‍රියාකාරකමක් සිදු වූ වහාම මෙම ලාභ ලැබීමේ ක්‍රමය ක්‍රියාත්මක වන බව දැනගන්නට ඇත.
මෙලෙස රටපුරා ඉන්ධන බෙදාහරින පිරවුම්හල් හිමියන්ට අයුතු ලාභයක් හිමිවනුයේ ඔවුන් අලෙවි කරන ඉන්ධන ලීටරයක් සඳහා 3%ක ලාභයක් සහිතව මුදල් ගෙවීමට කටයුතු කිරීම නිසාය. තෙල් බෙදාහරින ඉන්ධනහල් හිමියන් තමන්ගේ ලාභය ලෙස ගණන් බැලීමේදී විදුලි බිල, ජල බිල, සේවක පඩිනඩි, ගෙවිය යුතු ආදායම් බදු වැනි කරුණු සලකා බැලිය හැකිය. එම වියදම් සලකා බලා ලාභයක් සහිතව මෙම ව්‍යාපාරයට කරගෙන යෑමට ඔවුන්ට ඉඩකඩ ලබා දීම සාමාන්‍ය ක්‍රමය විය යුතු බව රජය මේ සම්බන්ධයෙන් පරික්ෂා කිරීමට පත් කළ කමිටු වාර්තාවකින් හෙළිකරගත් කරුණකි.
එසේ තිබියදී ඉන්ධන මිල තීරණය කිරීමේදී ආණ්ඩුව ගනු ලබන ඇතැම් ක්‍රියාමාර්ග පාදක කර ගනිමින් 3%ක් වැනි මුදලක් කිසිදු සම්බන්ධතාවයක් නොමැති මෙරට ඉන්ධන පිරවුම්හල් 1100ක් හිමි දහසකටත් අඩු ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් අතළොස්සක් දෙනා ජනතා මුදල් අයථා ලෙස භාවිත කිරීමක් ලෙස හෙළිදරව් වී ඇත.
ඒ අනුව වසර 2022 සිට 2024 මැද භාගය දක්වා රුපියල් බිලියන 35ක මුදලක් මෙම පිරවුම්හල් හිමියන් අතර බෙදී ගොස් ඇතැයි රජයේ විගණන වාර්තාවක සඳහන් වේ. එම මුදල මේ වනවිට තවත් වැඩි වී ඇති බව වාර්තා වේ. මෙලෙස තෙල් මිල සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී කිසිදු බලපෑමක් සිදු නොකරන පිරිසකට 3%ක අයුතු ලාභයක් යොමුවීම බලවත් අසාධාරණයක් බව පොදු මහජනතාවගේ අදහසයි.
රජයට ආදායම් වැඩිකර ගැනීමට සිදුවනුයේ අධ්‍යාපනයට, සෞඛ්‍ය සේවයට, මහාමාර්ග, වාරිමාර්ග, ජලසම්පාදන, නිවාස, ක්‍රීඩා හා මහජන සුබසාධන කටයුතු සඳහා වැඩි වශයෙන් මුදල් යෙදවීමට අවශ්‍ය වූ විටය. එලෙස රජය රටේ සංවර්ධනයට මහජන සුබසාධනයට මුදල් වැඩි කර ගැනීමේ අරමුණින් බදු මුදල් වැඩි කළවිට පවා ඊට කිසිම අදාළතාවයක් නැති පිරවුම්හල් හිමියන්ට 3%ක අයුතු ලාභයක් ලැබෙන අරුම පුදුම ක්‍රමවේදය පෙර පැවති රජයන්ගේ සිදු වුවකි. එය නව ආණ්ඩුව යටතේ ද ක්‍රියාත්මක වෙමින් තිබේ.
දැනට තෙල් මිල විශාල ඉහළ ගොස් පීඩාවට පත්වී සිටින ජනතාවට සහන සැලසීමට යැයි පවසමින් බලයට පත් නව ආණ්ඩුව පවා නිරපරාදේ මෙලෙස තෙල් අලෙවිකරුවන්ට අයුතු ලාභ ලබා ගැනීමට ඉඩකඩ ලබා දෙමින් ඇස්කන් පියා සිටීම පිළිබඳව මහජනතාවගේ නොසතුට පළ කොට ඇත.
පිරවුම්හල් හිමියන්ට 3%ක ලාභ තීරයක් දක්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තවදුරටත් අයුතු ලෙස ලාභ ලැබීමට ඉඩහැර තිබීම නවත්වන ලෙසට රජයේ විගණන වාර්තාවන් පවා කරුණු නිර්දේශ කොට ඇත. මේ ආකාරයට කරුණු නිර්දේශ කර සිටියදීත් අයුතු ලාභ ලැබීමට පිරවුම්හල් හිමියන්ට ඉඩහැර තිබීම වහාම නතර කළ යුතු බවට එම වාර්තාවන් වැඩිදුරටත් සඳහන් කොට ඇත.