ගතවූ දින කිහිපයට ශ්‍රී ලාංකිකයෝ 119ක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියාවලට

මේ වසරේ ගතවූ දින කිහිපයේ ශ්‍රී ලාංකිකයන් 119ක් ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

අද (29) ඊශ්‍රායලය බලා යෑමට නියමිත 152 වන කණ්ඩායමට අයත් සාත්තු සේවා වෘත්තිකයන් 34 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු වූ අතර, ඊට කාන්තාවන් 29ක් හා පිරිමි පුද්ගලයන් 5ක් අයත් වෙති.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා (PIBA) ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් 2009 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට හිමිවන්නේ දෙරට අතර ඇතිකර ගන්නා ලද අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීමට කිසිම පුද්ගලයකුට මුදල් ලබාදීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.