බෙලිඅත්තේ පන්සලක අත්බෝම්බයක් පිපිරෙයි

බෙලිඅත්ත පොලිස් වසමට අයත් නිහිලුව ,තාරපේලිය ගල්කෙම පුරාණ විහාර භූමියේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බ තුනක් හමුවූ  බව බෙලිඅත්ත පොලිසිය පවසයි .

ඊයේ (27) සවස 3 ට පමණ විහාරස්ථානය පිහිටි ඉඩම මහ ට්‍රැක්ටරයක් යොදවා තණකොළ කපා  එළිපෙහෙළි කරමින් සිටියදී ට්‍රැක්ටරයට හසුවී එක් ජීව අත් බෝම්බයක් පුපුරා ගොස් තිබේ .

පසුව බෝම්බය පුපුරා ගිය ස්ථානය ආසන්නයේ තිබී තවත් ජීව අත් බෝම්බ දෙකක් සොයාගත් බවද පොලිසිය කීවේය .

අත් බෝම්බය පුපුරා යාමෙන් මහ ට්‍රැක්ටරයට අලාභහානි සිදුවී ඇති අතර ට්‍රැක්ටරයේ රියදුරු සීරීම් තුවාල පමණක් ලබා විශාල අනතුරකින්  ගැලවී තිබේ .

අක්කර පහක් පමණවූ මෙම විහාර භූමිය පට්ටියවෙල ,නිහිලුව මාර්ගයට මුහුණ ලා පාලු ප්‍රදේශයක පිහිටා තිබේ .

පසුගිය 2024 වසරේ ඉඩම එළිපෙහෙළි කිරීමෙන් පසු ඊයේ (27) ඉඩම එළිපෙහෙළි කිරීමට විහාරාධිපති හිමියන් කටයුතු කර ඇතැයි පොලිසිය පැවසීය .

ට්‍රැක්ටරයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ මහියංගණය ,මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙකි .

ඔහු විහාරාධිපති හිමියන්ගේ ඥාති පුතෙකු බවද පොලිසිය පැවසීය .

මෙම ජීව අත් බෝම්බ පන්සල් ඉඩමට  කිසිවෙකු විසින් හෝ මාස කිහිපයකට පෙර  විසිකර  දමා යන්නට ඇතැයි සැකකරන බව පොලිසිය පැවසීය බෙලිඅත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි