සල්ලි නොදුන් විදෙස් ක්‍රීඩකයන් 5කටත් පිට්ටනිය එපා වෙලා

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධාන කරන බීපීඑල් ක්‍රිකට් තරගාවලියේ රාජ්ෂායි පිලට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ළහිරු සමරකෝන් සමඟ විදෙස් ක්‍රීඩකයන් 5ක් කොන්ත්‍රාත් මුදල් නො‍ෙගවීමේ හේතුවෙන් තරග වර්ජනයක නිරත වෙයි.

මෙයට දින කිහිපයකට පෙර චිතගොං කිංග්ස් පිල නියෝජනය කරන බිනුර ප්‍රනාන්දු පොරොන්දු වූ පරිදි මුදල් ගෙවීම් පැහැර හැරීමට විරෝධය පළ කරමින් ක්‍රීඩා පිටියට පැමිණීම ප්‍රතික්ෂේප කළ අතර, ළහිරු සමරකෝන් සමඟ පෙරේදා පැවති තරගයේදී පාකිස්තාන ක්‍රීඩක මොහොමඩ් හැරිස්, සිම්බාබ්වේ ක්‍රීඩක රයන් බර්ල්, ගයානා ක්‍රීඩක මාර්ක් ඩෙයාල්, බටහිර ඉන්දීය ක්‍රීඩක මිගුවල් කමීන්ස් හා ඇෆ්ගනිස්තානයේ අෆ්ටාබ් අලාම් යන ක්‍රීඩකයන් ද තරග වර්ජනයේ නිරත වූහ.

සමරකෝන් ඇතුළු මේ ක්‍රීඩකයන් රාජ්ෂාහි ක්‍රීඩා සමාජය සමඟ මේ තරගවාරයේදී අත්සන් කළ කොන්ත්‍රාත්තුවේ වටිනාකම එක් අයකුට අමෙරිකානු ඩොලර් 15,000ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 45ක්) වේ. මුදල් පැහැර හැරීම සම්බන්ධ‍යෙන් මේ වි‍දෙස් ක්‍රීඩකයන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට ලිඛිතව පැමිණිලි කළ අතර, ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින හෝටලයෙන් ද පාලක මණ්ඩලයට පැමිණිලි ඉදිරිපත්වී තිබේ.

බංග්ලාදේශ ක්‍රිකට් මාධ්‍ය කමිටු සභාපති ඉෆ්ටෙකාර් රහ්මාන් පැවසුවේ, ප්‍රශ්නය විසඳීමට ක්‍රීඩා සමාජ අයිතිකරුවන්ට ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති අතර, තවදුරටත් එසේ කිරීමට ඉඩ දිය නොහැකි බවයි. බීපීඑල් ක්‍රිකට් තරගාවලියේ නීති රීති අනුව කණ්ඩායමක් ක්‍රීඩා කරද්දී අවම වශයෙන් විදෙස් ක්‍රීඩකයන් දෙදෙනකු සිටිය යුතුය. රාජ්ෂායි පිලට විදේශීය ක්‍රීඩකයන් ක්‍රීඩා නොකරන බව පැහැදිලි වූ විට, බංග්ලාදේශ පාලක සභාව එම රීතිය බිඳ දැමීමට ඉඩ දුන්නේය.

රාජ්ෂායි පිල එම තරගයේදී රාංග්පූර් පිලට එරෙහිව ලකුණු 2ක විශ්මිත ජයග්‍රහණයක් ලැබූ අතර, නායක ටස්කින් අහමඩ් පැවසුවේ දිගු හා දුෂ්කර දවසක කුඩා අවසානයකට පැමිණ ඇති බවය. “මම විදේශීය ක්‍රීඩකයන්ගෙන් ඇහුවම ඔවුන් කිව්වා සල්ලි නැතුව ක්‍රීඩා කරන්නේ නැහැ කියලා. ඒක එයාලගේ අයිතිය. මම මොනවා කියන්නද, මමත් ක්‍රීඩකයෙක්. ඇත්තටම අපිට විදේශීය ක්‍රීඩකයන් නොමැතිව ක්‍රීඩා කිරීම හොඳ මදි. අපිට අද චෙක් එකක් දුන්නා. අපි ඒක අද බැංකුවට දානවා. චෙක් එක මේ විකට් එක වගේ හැරුණොත් අපි අමාරුවේ වැටෙනවා” ටස්කින් අහමඩ් පැවසීය.