ශ්රී ලංකා ක්රිකට් සංවිධාන කරන අන්තර් සමාජ තුන්දින ක්රිකට් තරගාවලියේ මෙවර තරග වාරයේ සිය පළමු ජයග්රහණය අත්කර ගැනීමට බීආර්සී සහ ටැමිල් යූනියන් ක්රීඩා සමාජ සමත් විය.
තරගාවලියේ 5 වැනි සතිය යටතේ ප්රබල එස්එස්සී කණ්ඩායම සමඟ බීආර්සී පිටියේ පැවති තරගය ඉනිමකින් සහ ලකුණු 48කින් ජය ගැනීමට සත්කාරකයෝ සමත් වූ අතර, ටැමිල් යූනියන් පිල තර්ස්ටන් පිටියේදී කැන්ඩි කස්ටම්ස් පිලට එරෙහිව කඩුලු 9කින් සිය පළමු ජය සටහන් කර ගත්තේය.
5 වැනි සතිය යටතේ කෝල්ට්ස් පිල බදුරලිය ක්රීඩා සමාජය සමඟ මග්ගොන පැවති තරගය කඩුලු 5කින් ජය ගැනීමට සමත් වූ අතර, තරග 4ක් ජය පරාජයෙන් තොරව නිමා විය.
මේ තරගවලදී ඇන්ජලෝ පෙරේරා (නුගේගොඩ), රොෂේන් සිල්වා සහ මොවින් සුබසිංහ (බීආර්සී) සහ කසුන් අබේරත්න (බ්ලූම්ෆීල්ඩ්) ශතක වාර්තා කළහ.
බීආර්සී කණ්ඩායමේ මලින්ද පුෂ්පකුමාර (98) සහ ටැමිල් යූනියන් කණ්ඩායමේ තරිඳු රත්නායක (134) කඩුලු 13ක් බැගින් දවා ගනිමින් නිමාවූ සතියේ කැපී පෙනෙන පන්දු යවන්නන් බවට පත් වූහ. ඉනිමේ හොඳම පන්දු යැවීම තරිඳු වාර්තා කළේ ලකුණු 34කට කඩුලු 8ක් බිඳ දමමිනි.
නුගේගොඩ පිල සමඟ තරගයේදී කඩුලු ත්රිත්වයක් වාර්තා කිරීමට එන්සීසී පිලේ චාමික කරුණාරත්න සමත්වීම කැපී පෙනුණු අතර, ඔහු නුගේගොඩ දෙවැනි ඉනිමේ 57 වැනි ඕවරයේ තෙවැනි, සිවුවැනි සහ පස්වැනි පන්දුවලින් සිය කඩුලු ත්රිත්වය වාර්තා කළේය.
බදුරලිය පිලේ චානක කොමසාරු ඉනිමකදී කඩුලු 7ක්, කෝල්ට්ස් පිලේ අකිල ධනංජය සහ මුවර්ස් පිලේ චානුක දිල්ෂාන් ඉනිමකදී කඩුලු 6 බැගින් දවාගත් අතර, මුදිත ලක්ෂාන් (කෝල්ට්ස්), ශිරාන් ප්රනාන්දු (මුවර්ස්) සහ තිලකරත්න සම්පත් (නුගේගොඩ) කඩුලු 5 බැගින් දවා ගනිමින් දස්කම් දැක්වූහ.