දේශපාලකයන්ගේ මාෆියා ව්‍යාපාරය සහ නිලධාරීන්ගේ මාෆියා ව්‍යාපාරය යන දෙකම නැති කළ යුතු බවත්, ජනතාවට සහන දීමට මිස ජනතාවගෙන් ලාභ ලැබීමට විදුලිබල මණ්ඩලයක් පවත්වාගෙන යෑමට නොහැකි බවත් ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ නාරාහේන්පිට ශ්‍රී ලංකාරාමයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද පැවසූහ.
“විදුලි බිල අඩු කිරීමේ තීරණය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අපි ස්තූතිය පළ කරනවා. අඩුම ගාණේ 30%ක් වත් විදුලි බිල අඩු වෙන්න ඕනේ. නිලධාරී මාෆියාවක් මුල් කරගෙන පසුගිය රජය අත්තනෝමතික ලෙස මේ කටයුතු සිදු කළා. අලුත් තාක්ෂණය උපයෝගී කරගෙන බිල්පත් සාමාන්‍ය ජනතාවට නොගැළපෙන පරිදි ඉදිරිපත් කළා. එය අසාර්ථක වෙලා අද පරණ බිලපත නැවත ගේන්න තීරණය කර තිබෙනවා.
පසුගිය සමයේ විදුලිබල මණ්ඩලය බිලියන 200ක ලාභයක් ලබා තිබෙනවා. ජනතාව පීඩාවට පත් කර ජනතාවට දුක් දී, ආගමික ස්ථානවල බිල වැඩි කර තමයි මේ දේ කළේ. පසුගිය රජය කළ මේ කඩාකප්පල්කාරී ක්‍රියාව නිසා සාමාන්‍ය ජනතාවගේ බිලත් සියයට 300කින් වැඩි වුණා. මේ ලාභය හදලා තිබෙන්නේ තවත් පිරිසකට මේ මහා ජාතික සම්පත විකිණීමේ කූට උපක්‍රමයක් සඳහා බව දැන් අපට තේරෙනවා.”
මේ අවස්ථාවට පාගොඩ ජනිතවංශ හිමි, බත්තරමුල්ලේ දයාවංශ හිමි, විශ්‍රාමික ග්‍රාම නිලධාරී ලැසිල් ද සිල්වා, විදුලිය භාවිත කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර්. අතුල මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.