බැංකුවට බැරවූ මුදල් ඔහු කිසිදිනක අරගෙන නෑ
දෙහිවල ලක්ෂ 500ක ඉඩම හා CSN නඩුව පිළිබඳ විමර්ශන අරඹා තිබෙනවා
නීතිපති වෙනුවෙන් සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් උසාවියට කියයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධී ලෙස උපයාගත් ආදායම්වලින් රත්මලාන ප්‍රදේශයේ ලක්ෂ 340ක් වටිනා ඉඩමක් සහ නිවසක් මිලදී ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ලක්ෂ 500ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (27) නියෝග කළේය.
සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු සහ අධිකරණය සෑහීමට පත්වන කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම සැලකිල්ලට ගෙන සැකකරු ඇප මත මුදාහැරීමට නියම කරන බවද මහේස්ත්‍රාත්වරයා පැවසීය.
සෑම තෙමසකට වරක් අවසන් ඉරුදින පෙරවරු 9-12 අතර කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස සැකකරුට නියම කෙරුණ අතර, ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද නියම විය.
විදෙස් ගමන් තහනම් කිරීමට අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත යොමු කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්රාර්වරයාට නියම කළ අතර ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට බාර දෙන ලෙසට ද නියෝග කළේය. තවද මෙම සිද්ධියේ කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් නොකරන ලෙසට ද සැකකරුට අධිකරණය නියෝග කළේය.
මෙම සිද්ධියේ පළමුවැනි සැකකාරිය වන ඩේෂිෆොරස්ට් නමැත්තියට මැයි 16 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසට ද අධිකරණයෙන් නියම කෙරුණි.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා කියා සිටියේ රත්මලානේ කෙකටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 32ක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරු අත් අඩංගුවට ගත් බවත්, දෙහිවල ප්‍රදේශයේ ලක්ෂ පන්සීයකට අධික දේපොළක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හා සී.එස්.එන්. නාළිකාව මඟින් අධික මුදලක් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද මොහුට එරෙහිව විමර්ශන කටයුතු සිදු කර නඩු පැවරීමට කටයුතු කරන බවය. මෙම සිද්ධියේ පළමුවැනි සැකකාරිය වන ඩේෂිෆොරස්ට් නමැත්තිය සහ දෙවන සැකකරු වශයෙන් යෝෂිත රාජපක්ෂ නම්කර ඇති බව සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.
සිද්ධියේ පළමුවන සැකකාරිය වන ඩේෂිෆොරස්ට් නැමැත්තිය මේ වන විට අධිකරණය මඟින් ඇප මත මුදාහැර ඇති බවද දිලීප පීරිස් මහතා අධිකරණයට දැන්වීය. සිද්ධියට අදාළ කෙකටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් තිස්දෙකක ඉඩම සැකකාර පුද්ගලයා මිලදී ගෙන ඇත්තේ මානෙල් රත්නායක නැමැති කාන්තාවකගෙන් බව සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැන්වීය.
මෙම සැකකරු අබේනායක නමැත්තියක් සමඟ සබඳතා පවත්වා තිබූ බවත් ඇගේ මාමා වන වසන්ත ජයසූරිය නමැති අයෙකු එම ඉඩම මිලදී ගැනීමට සූදානම්ව සිට ඇති බවට තොරතුරු හෙළි වූ බවද සොලිස්ටර් ජනරාල්වරයා දැන්වීය.
එවැනි තත්ත්වයක් තුළ සැකකාර පුද්ගලයා එම ඉඩම මිලදී ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
විකුණුම් ඔප්පුව සැකකරුගේ මිත්තණිය වන ඩේසි නමැත්තිය නමින් සඳහන්ව ඇති බවත් ඇය සුලේයිමෙන් රෝහලේ සහ වෙනත් ආයතනයක ගුරුවරියක් ලෙස සේවය කර ඇති නමුත් එතරම් මුදලක් වැය කර ඉඩම මිලදී ගැනීමට තරම් වත්කමක් නොතිබූ බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බවද සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දැක්විය.
මෙම සිද්ධියේ පළමුවැනි සැකකාරියට 2012, 2013 කාල වකවානුව තුළ නිශ්චල දේපළ හිමිකාරීත්වයක් නොතිබූ බවත්, දෙවන සැකකරු වන යෝෂිත රාජපක්ෂ නමැති අය ලබාගත් ඉඩමක් ව්‍යාජව ඇයට පවරා ඇති බව ඇයගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බව සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම ඉඩම මිලදී ගැනීම සඳහා පාලිත ගමගේ නමැති අයෙකු දෙවැනි සැකකාර යෝෂිත රාජපක්ෂට ලක්ෂ හැටඑකක මුදලක් පාලිත ගමගේ නමැති අයෙකු ලබා දී ඇති බව සඳහන් කළේය.
පාලිත ගමගේ නැමැති අය මාර්ග සංවර්ධන කටයුත්තකට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී තිබූ අල්ලස් මුදලකට සමගාමීව මෙම මුදල් සම්ප්‍රේෂණය වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වන බවද සොලිස්ටර් ජනරාල්වරයා දැන්වීය. මෙම ඉඩමේ ස්වාමීත්වය ඉහත සඳහන් කළ පාලිත ගමගේ සතුව තිබියදී එහි ඔප්පුව විමර්ශනවලදී සොයාගෙන ඇති බවත් නාමල් රාජපක්ෂ නමැති අයෙක් එහි පදිංචිව සිටි ඇති බවට ඔහු ප්‍රකාශ කර ඇති බවත් සොලිස්ටර් ජෙනරාල්වරයා දැන්වීය. දෙවන සැකකාර යෝෂිත රාජපක්ෂ 2006 වර්ෂයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට ලුතිනන්වරයෙක් ලෙස බැඳී ඇති බවත් 2016 වර්ෂයේදී වැඩ තහනමකට ලක්වූ බවත් එසේ වැඩ තහනමට ලක්වීමෙන් පසු ඔහු ජනාධිපති කාර්ය මණ්ඩලෙය් සේවය කර ඇති බවත් සඳහන් කළේය.
නාවික හමුදා ලුතිනන්වරයෙක්ව සිටියදී ඔහු ලබාගත් රුපියල් 73,000ක වැටුප ජාතික ඉතිරි කිරීමේ බැංකුවට බැරව ඇති නමුත් ඔහු එම කිසිදු මුදලක් ලබාගෙන නොමැති බවද සඳහන් කළේය. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි වටිනාකමින් යුත් ඉඩමක් මිලදී ගැනීමට තරම් වත්කමක් ඔහුට ලැබුණේ කෙසේද යන්න පිළිබඳ ප්‍රශ්නාර්ථයක් පැන නඟින බව සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දැක්වීය.
සිද්ධියට අදාළව සිදු කරන ලද විමර්ශනවලදී මෙම සැකකාර පුද්ගලයා සතු ගිණුම්වල මිලියන 17ක් සහ මිලියන 34ක් වශයෙන් මුදල් බැර වී ඇති බවත්, එම මුදල් අයථා ලෙස උපයාගෙන ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවද සොලිස්ටර් ජනරාල් මහතා සිද්ධිය සම්බන්ධයෙන් මෙහිදී සැකකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කියා සිටියේ මෙම සිද්ධියට අදාළ නඩු ගොනුව මීට වසර අටකට පෙරදී නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් එය බහා තබා තිබී ඇති බවත් ය.
එසේ බහා තබා තිබූ නඩුවක් වසර අටකට පසුව මෙසේ නැවත අධිකරණය හමුවට යොමු කර විමර්ශන අවසන් නොවේ යැයි පැවසීම පිළිගත නොහැකි කරුණක් බවද පෙන්වා දුන්නේය.
තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩේෂිෆොරස්ට් නැමති මෙම සිද්ධියේ පළමුවන සැකකාරියට ආධාර අනුබල දීමේ වරදට බැවින් ඔහුව ඇප මත මුදාහරින ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක විජයතුංග මහතා අධිකරණය හමුවේ පෙනී සිටියහ.