ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාවට නව මුහුණුවරක් එක් කරමින් ඉතිහාසයේ පළමු වතාවට ගාලු මුවදොර එළිමහන් බොක්සිං වළල්ලේ පැවති 97 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ ශූරයා සහ ශූරිය ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ පියල් ධර්මසේන සහ සඳුනි ප්‍රියදර්ශනී අභිෂේක ලැබූ අතර, තරගාවලියේ වැඩිම ගෞරවය දිනා ගනිමින් පිරිමි තරග අංශයේ රන් පදක්කම් 7ක් සහ කාන්තා තරග අංශයේ රන් පදක්කම් 3ක් දිනා ගැනීමට යුද හමුදා පිල සමත් විය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව කාන්තා තරග අංශයේ ගෞරවය ලැබුවේ රන් පදක්කම් 5කට හිමිකම් කියමිනි.
ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ සංවිධායකත්වයෙන් දින 4ක් පුරා පැවති මෙවර තරගාවලියේ කිලෝග්‍රෑම් 54 බර පන්තියෙන් තරග වැදුණු පියල් ධර්මසේන අවසන් තරගයේදී විද්‍යාරත්න බොක්සිං සමාජයේ රවිඳු ජයනාත් කුමාර පරාජයට පත් කළ අතර, කිලෝග්‍රෑම් 52 බර පන්තියෙන් තරග වැදුණු සඳුනි ප්‍රියදර්ශනී හමුවේ යෂිනි ප්‍රනාන්දු පරාජයට පත්වූවාය. යුද හමුදාවේ එච්.එම්.එල්.පී. ජයවර්ධන හොඳම පරාජිතයා ලෙසත්, ගුවන් හමුදාවේ කේ.කේ.අයි.ටී. පෙරේරා හොඳම පරාජිත ක්‍රීඩිකාව ලෙසත් සම්මානයට පාත්‍ර විය.
කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් තරග කළ සාන්ත සිල්වෙස්තර බොක්සිං සමාජයේ යස්මින් උසෙයිත් සහ කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් තරග වැදුණු බ්ලැක් ටු ෆිට් බොක්සිං සමාජයේ ඩැනියෙල් තිසරආරච්චි පළමු වතාවට ජාතික ශූරතාවලියේ රන් පදක්කම් දිනා ගැනීමට සමත්වීම කැපී පෙනිණි.
මෙරට කාන්තා බොක්සිං වළල්ලේ ප්රබලතම ක්‍රීඩිකාවක වන නදීකා පුෂ්පකුමාරි කිලෝග්‍රෑම් 48 බර පන්තියේ රන් පදක්කම දිනා ගත්තාය. ශ්‍රී ලංකාවේ බොක්සිං තුරුම්පුව බවට පත්වී සිටි කිලෝග්‍රෑම් 51 බර පන්තිය නියෝජනය කළ ශ්‍රී ලංකා පොලිස් බොක්සිං සමාජයේ උමයංග මිහිරාන් නීතිවිරෝධී ක්‍රීඩා කලාපය හේතුවෙන් තරගයෙන් ඉවත් කළ අතර, එම බර පන්තියේ රන් පදක්කම යුද හමුදා පිලේ කේ.ඒ.එස්.කේ. අබේගුණවර්ධනට හිමිවිය.
තරගාවලියේ ජීව ගුණය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව මෙවර ජාතික බොක්සිං ශූරතාවලියට දකුණු කොරියාව, අයර්ලන්තය, ඉන්දුනීසියාව සහ කසකස්තානයෙන් එක්වූ ජාත්‍යන්තර තරග විනිසුරුවරුන් හා තීරකවරුන්ගේ සහාභාගිත්වයෙන් පැවැත්විණි. ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර, ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ සභාපති අනුරුද්ධ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් ද එම අවස්ථාවට එක්වූහ.