ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පෙරේදා (26) ඇති වූ ගැටුමට හේතුව ‘ වතුර බාල්දියක්’ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයේ ස්නානය කරන අවස්ථාවේදී එක් රැඳවූවකුගේ බාල්දියකින් තවත් රැඳවූවන් කිපදෙනකුගේ ඇඟට වතුර වැටීම නිසා ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇතැයි වාර්තා වේ.
මේ වන විට අදාළ ගැටුම පිළිබඳ මාතර සහකාර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. සහකාර බන්ධනාගාර අධිකාරිවරයා විසින් ඊයේ (27) සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බන්ධනාගාර රැඳවූවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසුමකදී පැවසුවේ අදාළ ගැටුමට සම්බන්ධ රැඳවූවන් තිදෙනකු බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇති බවයි. එමෙන්ම අදාළ ගැටුම පිළිබඳ ඊයේ (27) අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කළ බව ද ඒ මහතා කීය. මෙම ගැටුම හේතුවෙන් තුවාල ලැබූ රැඳවූවන් සිව්දෙනකු කරාපිටිය ජාතික රෝහලේ 58 වාට්ටුවේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ගාල්ල බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පෙරේදා (26) පස්වරුවේ ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙපිරිසක් අතර වූ මෙම ගැටුම එහි රඳවා සිටින ‘කරන්දෙණිය සුද්දා’ යන ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනාගේ කණ්ඩායම් සාමාජිකයන් අතර හටගත් බවයි. මේ කල්ලි දෙක අතර මෙයට දින 5කට පමණ පෙර බන්ධනාගාරය තුළ බහින්බස් වීමක් සිදුවී ඇති බවත් එයින් පසුව පෙරේදා යළිත් ඔවුන් මෙසේ ගැටුමකට යොමු වී ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
ගැටුමෙන් පසුව ගාල්ල බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කළ අතර මේ වන විට එම බන්ධනාගාරයේ කටයුතු සන්සුන්ව සිදු කෙරෙන බව වාර්තා වේ.