උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ජාවාරමට බලපා තිබෙන ප්‍රබල හේතුවක් ලෙස ඉල්ලුමට සරිලන සැපයුම නොමැතිවීම හඳුනාගෙන තිබෙන බවත්, අදාළ ජාවාරම සම්බන්ධයෙන් නීති මඟින් කටයුතු කර ඉල්ලුමට සරිලන ආකාරයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.
“මේ අනුව පෙබරවාරි මස 01 වැනිදා සිට සෑම සති අන්තයකම මහනුවර සිට දෙමෝදර දක්වා දුම්රියක් ධාවනය කිරීමටත්, පෙබරවාරි 10 වැනිදා සිට කොළඹ කොටුවේ සිට ඇල්ල ඔඩිසි දුම්රිය බදුල්ල දක්වා සෑම සඳුදා දිනකම ධාවනයේ යෙදවීමටත් කටයුතු කර තිබෙනවා.
සෑම සිකුරාදා දිනකම පස්වරු 5.10ට කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය කෙරෙන දුම්රිය සඳුදා පෙරවරු 5.45ට යළි කොළඹ බලා ධාවනය කරන තෙක් දින දෙකක් මහනුවර දුම්රිය ස්ථානයේ ගාල්කර තැබෙනවා. එම දුම්රිය සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඇල්ල ඔඩිසි – කැන්ඩි නමින් පෙරවරු 9.00ට මහනුවරින් දෙමෝදර දක්වා ගමන් ගන්නවා. එය දෙමෝදරින් පස්වරු 6.00ට මහනුවර බලා ධාවනය කෙරෙනවා.
උඩරට දුම්රිය මාර්ගයේ ටිකට්පත් ජාවාරම නීතියෙන්ම පාලනය කළ නොහැකියි. ඒ සඳහා පවතින අධික ඉල්ලුම අඩු කිරීමත් සමඟ වැඩි මිලට ටිකට්පත් අලෙවි කිරීමේ හැකියාව පහත වැටෙනවා. දුම්රිය ප්‍රවේශ පත්‍ර කල් තියා වෙන් කරවාගෙන පසුව වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ සමඟ ජාවාරම්කරුවන් යම් තැතිගැන්මකට ලක්ව සිටිනවා. ප්‍රශ්නයට හේතුව නිවැරදිව හඳුනාගෙන එයට විසඳුම් දීමට උත්සාහ කරනවා.”