රට ගොඩනැඟීමට ආණ්ඩුවට බැඳීම තිබෙන්නේ ජනතාව සමඟ පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අනුරාධපුර,කැකිරාව, තඹුත්තේගම ප්‍රදේශවල පැවැති ජනහමුවලට පෙරේදා (26) සහභාගී වෙමිනි. පැරණි නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අවසන් කිරීම මිස කිසිවකුගෙන් පළිගැනීමේ අරමුණක් තමන්ට හෝ ආණ්ඩුවට නැති බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
වැඩිදුරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීවේය.
ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකදී ලබාගත හැකි උපරිම මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබාගෙන දැවැන්ත ජයග්‍රහණයක් අපි ලබාගත්තා.අද වන විට ආණ්ඩුවට මාස දෙකක්. මේ කෙටි කාලය ඇතුළත ජයගත යුතු අභියෝග කීහිපයක් තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන්ගේ වියදම කෝටි 70යි. පරණ ඇබ්බැහිය අතහැරිය යුතුයි.රට පුරාම ජනාධිපති මන්දිර තිබෙනවා. කොළඹ ජනාධිපති මන්දිරය හා නුවර ජනාධිපති මන්දිරය පමණක් තබාගෙන සියලු මන්දිර හා ඇමැති මන්ත්‍රී නිවාස වෙනත් කටයුතුවලට යොදාගන්නවා.එම නිවාස ජාතික ආර්ථිකයට දායක කර ගන්නේ කෙසේද කියා විමසනවා. යාපනය මන්දිරය විශ්වවිද්‍යාලයක් කිරීමට ආයෝජනයක් මේ වන විට ඇවිත් තිබෙනවා.
එක් හිටපු ජනාධිපතිවරයකුගේ නිවස වර්ග අඩි 30,500යි. දෙන්නෙකුට ඉන්න එච්චර ප්‍රමාණයක් ඕනෑද? හිටපු ජනාධිපතිනියගේ නිවස වර්ග අඩි 15,000ක්. එක්කෙනෙක් ජීවත් වෙන්න එච්චර ඕනෑද? නාස්තිකාර ජීවිත දැන්වත් නවත්වන්න කියා අප ඉල්ලා සිටිනවා.කොළඹ පැල්පත් නිවාස වර්ග අඩි 450යි. එහි දරුවන් දෙදෙනෙක් සමඟ හතරදෙනක් ජීවත් වුණා. ඒ මේ නාස්තිකාර ජීවිත දැන්වත් නවත්වන්න කියා අපි ඉල්ලනවායිද පැවැසීය.