අපට කාගෙන්වත් පළිගැනීමේ අරමුණක් නෑ-ජනපති අනුර දිසානායක අනුරපුරදී කියයි

පාතාලය ඉක්මණින් මර්දනය කරනවා

හැමදාම සහනාධාරවලින් යැපෙන්නන් සිටිය යුතු නෑ


මේ වනවිට අවසන් කරමින් යන්නේ පැරණි නාස්තිකාර දේශපාලන සංස්කෘතිය බවත් අපට කාගෙන්වත් පළිගැනීමේ අරමුණක් නැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා (26) පස්වරුවේ අනුරාධපුර විවේකානන්ද ක්‍රීඩාංගණයේ පැවති සුහද හමුවේදීය.

මැති ඇමැතිවරුන්ට වරප්‍රසාද ලබාදෙන දේශපාලන සංස්කෘතියට වත්මන් රජය තිත තබා තිබෙන බවත්, ජනාධිපති සහ මැති ඇමැතිවරුන් එලෙස කටයුතු කරද්දී හිටපු නායකයන් නාස්තිකාර ජීවිත ඔවුන්ගේ උරුමයක් ලෙස සලකන බව ද ජනපති මෙහිදී ප්‍රකාශ කළේය.

පැරණි නාස්තිකාර කටයුතුවලට තමන් කිසිවක් නොකියන නමුත් අද සිට හෝ නව දේශපාලන සංස්කෘතියට එක්වන ලෙස තමා ඔවුන්ට පවසන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

ජාතික ජන බලවේගය ලෙස අප පසුගිය මහමැතිවරණට පෙර අනුරාධපුරයට පැමිණ විශාල ජනකායක් සමඟ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළා.ඉන් අනතුරුව පසුගිය මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ ආසන 159ක් සහිත දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට අපට හැකි වුණා. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ආණ්ඩු බලය ලබා ගැනීම සිදුවූයේ පරම්පරාවෙන්. තාත්තා,අම්මා අගමැතිවීම නිසා දුවට බලය ලැබුණා. අයියා ජනාධිපති නිසා මල්ලිට බලය ලබා දුන්නා. මාමා ජනාධිපති නිසා බෑනා ජනාධිපති වුණා.

විශාල ලෙස මුදල් වියදම් කිරීමෙන් ආණ්ඩු ගොඩනැඟූ ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා. කුමන්ත්‍රණ මගින් හා මාධ්‍යවල මතවාද ප්‍රචාරය කරමින් ආණ්ඩු ගොඩනැඟුණා. නමුත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පිහිටවනු ලැබුවේ ජනතාවගේ මැදිහත්වීමෙන්. ජනතාව එක්ව ගොඩනැඟූ මේ ආණ්ඩුවට දැනට මාස දෙකක් ගත වී තිබෙනවා. ඒ නිසා මේ ජයග්‍රහණය ලබාදුන් ජනතාව සමඟ සුහදව කතා කිරීමට අපි මේ හමුව යොදා ගත්තා.

පසුගිය සැප්තැම්බර් මාසයේ අප ජයග්‍රහණය ලබා ගන්නාවිට පැවතුණේ ඉතා කුඩා ආණ්ඩුවක්. නොවැම්බර් මස 14 වැනිදා මහමැතිවරණය පවත්වා නොවැම්බර් 21වැනිදා කැබිනට් මණ්ඩලය පිහිටුවීමට අපට හැකිවුණා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පැමිණි විට ජාත්‍යන්තර සබඳතා බිඳ වැටේයැයි ඇතැම් කණ්ඩායම් විවිධ ප්‍රචාර ගෙන ගියා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී කර්මාන්තකරුවන්, ආයෝජකයන් රට හැර යනු ඇතැයි තවත් සමහරු ප්‍රචාරය කළා. ඒ වන විට ශ්‍රී ලංකාවේ පැවති ආර්ථිකය ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් නොවෙයි. එම තත්ත්වය තවත් ඉදිරියට පැවතියා නම් පාලකයන් අතින් ඩොලරයේ පාලනය ගිලිහීමට ඉඩ තිබුණා. ඒ නිසා අපි ආණ්ඩුවේ විශ්වාසය ගොඩනඟා ගැනීමට කටයුතු කළා. අද කොටස් වෙළෙඳපොළ වේගයෙන් ඉදිරියට යනවා. නමුත් කොටස් වෙළෙඳපොළෙන් සමස්ත ආර්ථිකය පිළිබිඹු වන්නේ නැහැ. කොටස් වෙළෙඳපොළෙන් ආයෝජකයන්ගේ විශ්වාසය ඇති කරනවා. පහුගිය දෙසැම්බර් මාසයේ සිට කොටස් වෙළෙඳපොළේ අගය ඉහළ යමින් තිබෙනවා.

අපේ රට විශාල ලෙස බංකොලොත්භාවයට පත්ව තිබුණා. ඒ තත්ත්වය සමනය කර ගනිමින් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන් කර ගැනීමට වත්මන් රජයට හැකි වුණා. ඒ සමඟම ලංකාව එතෙක් පැවති බංකොලොත්භාවයෙන් මුදාගැනීමට ජාතික ජන බලවේගය ආණ්ඩුවට හැකිවුණා.බංකොලොත්භාවය නිසාම මේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබූ සංවර්ධන ව්‍යාපෘති අතරමඟ නවතා දමා තිබුණා. ජපාන රජය විසින් එලෙස ව්‍යාපෘති 11ක් නවතා දමා තිබුණා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියත් ඒ අතර තිබුණා. ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු ජපාන රජය එම ව්‍යාපෘති 11ම නැවත ආරම්භ කිරීමට කටයුතු කළා. එසේම චීන රජය විසින් ඉදිකරමින් තිබූ සහ ඉදිකිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති 76ක් නැවත ආරම්භ කිරීමට කටයුතු කළා. මා පසුගියදා කළ චීන සංචාරයේදී මේ සඳහා විශාල සහයෝගයක් ලැබුණා. මේ වනවිට ජාතික ජන බලවේගය ආණ්ඩුව විදේශ රටවල් සමඟ ඇති විශ්වාසය තහවුරු කර තිබෙනවා.

චීන රජය පාසල් නිල ඇඳුම් සඳහා ලබාදුන් 80%ක ආධාරය 100%ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළා. එමෙන්ම 2026 වසර සඳහාත් නිල ඇඳුම් ලබාදීමට චීන රජය එකඟතාව පළ කළා. හම්බන්තොට තෙල් පිරිපහදු මධ්‍යස්ථානය ඉදිකිරීමට ඩොලර් බිලියන 3.7ක් ලබාදුන්නා. ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජනය ලෙස එය ඉතිහාසයට එක් වනවා. කඩවත-මීරිගම අධිවේගී මාර්ගයේ කොටස නැවත ආරම්භ කිරීමට අදාළව වන්දියක් ගෙවීමට සිදුව තිබුණා. එම වන්දිය 50%කින් අඩු කර ගැනීමට අප සැලසුම් කරමින් තිබෙනවා. එම මාර්ගය නැවත ඉදිකිරීම සඳහාත් චීනයේ ආධාර ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.

අපි පළමු සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගත්තා. එයින් රටට ආර්ථික ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට හැකි වූ අතර ණය ආධාරයක් ලෙස අපට ලබාදී තිබූ මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ආධාරයක් බවට පත්කර ගැනීමට සංචාරයේ දී අපට හැකිවුණා. එමෙන්ම නැඟෙනහිර පළාත සංවර්ධනය කිරීමට ප්‍රදානයක් කිරීමට ද ඉන්දියානු රජය එකඟ වී තිබෙනවා. ජාත්‍යන්තරයේ වත්මන් ආණ්ඩුව පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමට අප සමත්ව තිබෙනවා. ආයෝජකයන්ට විශ්වාසනීය රටක් බවට අද ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙනවා.

සාමාන්‍ය ජනතාව බලා ගැනීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරීමට අප කටයුතු කළා. ඒ වගේම අස්වැසුම ලබාදෙන ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කළා. අස්වැසුම ලබාදෙන කණ්ඩායම් පිළිබඳ නැවත සමාලෝචනයක් මේ ජූනි මාසයේදී සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.ආධාර ලැබිය යුතු කොටස් ඉලක්ක කර ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.ලෝකයේ බොහෝ ආණ්ඩුවල සැලැස්ම වන්නේ ආධාර ලැබිය යුතු ජන කොටස්වලට ආධාර ලබාදීමයි. ඒ සඳහා නිවැරදි දත්ත එක්රැස්කිරීම අවශ්‍යයි.

අපේ රටේ මෙතෙක් ආධාර ලබා දුන්නේ පුරවැසියන් බලා ගන්නා කෝණයෙන් නොව දේශපාලන කෝණයෙන් බලා බව අපි දන්නවා. ඒ නිසා නිසි ලෙස ආධාර ලැබිය යුතු පුරවැසියන් රැකබලා ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කිරීම අරමුණයි.මේ වැඩසටහන් සඳහා යොදවනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්. ඒ නිසා ඉලක්කගත නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමයි.

පාසල් උපකරණ ලබාගත නොහැකි දරුවන්ට පාසල් උපකරණ ලබා ගැනීමට ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් අපි සකස් කළා. නමුත් එහිදී අස්වැසුම ලබන පිරිසට අමතරව තවත් දරුවන් පිරිසක් සිටියා. එම නිසා මේ දත්තවල යම් වියවුලක් තිබෙනවා. දරුවන් තුන්සියයට වඩා සිටින පාසල්වල දරුවන්ට රුපියල් 6000ක දීමනාවක් ලබාදීමට අප තීරණය කළා. නිවැරදි දත්ත ලැබීමෙන් පසු ආධාර ලැබිය යුතු ප්‍රජාව ඉලක්ක කරගෙන ආධාර ලබාදීමට කටයුතු කරනවා.

අපි ජනතාව බලා ගැනීමට පසුගිය මාස දෙකේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. තවමත් අප අයවැය ලේඛනයක් ඉදිරිපත් කර නැහැ. අයවැය ‍ ලේඛනය පෙබරවාරි 17 වැනිදා ඉදිරිපත් කරනවා.මේ රටේ හැමදාම සහනාධාරවලින් යැපෙන ජනතාවක් සිටිය යුතු නැහැ. අපේ රටේ සෑම පුරවැසියකුටම ක්‍රමානුකූලව ආර්ථික ශක්තියක් ලබාදීමට රජය කටයුතු කරනවා. ආණ්ඩුවේ ඉලක්කය එයයි. නැවත අපේ රට 2022-2023 වසරවල මෙන් ආර්ථික අර්බුදයකට ලක්වීමට අප ඉඩ තබන්නේ නැහැ. මේ රටේ ආර්ථික පදනම ශක්තිමත්ව නිර්මාණය කිරීමට අප කටයුතු කරනවා.

වරාය, ඉලක්ක කර ගනිමින් විශාල ආර්ථිකයක් ගොඩනැඟීමට අප සැලසුම් කර තිබෙනවා.2030 වනවිට කොළඹ වරායේ කන්ටේනර් ලක්ෂ 113ක මෙහෙයුම් කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා. හිටපු නායකයන්ට වරාය සම්බන්ධයෙන් කිසිම සැලසුමක් තිබුණේ නැහැ. වරායේ ගේට්ටු හතරක් තිබෙනවා. නමුත් ගේට්ටු දෙකයි ක්‍රියාත්මක වන්නේ. ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමටවත් හිටපු නායකයන් කටයුතු කර තිබුණේ නැහැ.ඒ නිසාම වරායේ තදබදය වැඩිවෙලා තිබෙනවා. නැඟෙනහිර ජැටියේ වැඩ කටයුතු ලබන ජූනි මාසය වන විට අවසන් කිරීමට අප කටයුතු කරනවා. එවිට කන්ටේනර් මෙහෙයුම් තවත් වැඩි වෙනවා. එවිට තදබදය තවත් වැඩි වෙනවා. ඒ නිසා කෙරවලපිටියේ බහාලුම් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එය ඉදිකිරීමට තව වසරක් පමණ ගත වේවි.මේ බහලුම් මෙහෙයුම් සිදු කිරීමට කඩිනම් සැලැස්මක් අවශ්‍යයි. දැක්මක් සහිත පාලකයන් නොසිටි නිසා වරායේ තදබදය තවත් වැඩි වී තිබෙනවා. අප ටිකෙන් ටික තදබදය අඩු කිරීමට කටයුතු කරමින් සිටිනවා.

සංචාරක කර්මාන්තයේ දී මිලියන තුනක සංචාරකයන් ප්‍රමාණයක් අප අපේක්ෂා කරනවා. අපේ රටට සංචාරකයන් පැමිණියත් සංචාරක ආකර්ෂණීය ස්ථානවල අඩුවක් තිබෙනවා. සංචාරකයන්ට තදබදයකින් තොරව නැරඹුම් ස්ථාන ඇති කළයුතුයි. අනුරාධපුර නගරය සංචාරකයන්ගේ ආකර්ෂණීය ස්ථානයක් කළයුතුයි. ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය, ශ්‍රී ලංකාවේ පළමු වැව තිබෙන්නේ අනුරාධපුරයේයි. ඒ නිසා අනුරාධපුරය, සංචාරක ආකර්ෂණීය මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට හැකියි. ලෝකයට යනවිට කියවෙන්නේ රටේ නම නොවෙයි, නගරයේ නමයි. ලන්ඩන් පැරිස් කියන්නේ ‘සිටි බ්‍රෑන්ඩ්’ කිරීමක්.අනුරාධපුරයත් ‘සිටි බ්‍රෑන්ඩ්’ කිරීමක් කළයුතුයි. අනුරාධපුර නගරය යළි ඓතිහාසික නගරයක් බවට ප්‍රතිස්ථාපනය කළ යුතුයි. අපේ රටට සංචාරකයන් මිලියන තුනක් පැමිණෙන්නේ නම් එම සංචාරකයන් ප්‍රමාණය රට පුරා ව්‍යාප්ත කළ යුතුයි.

අපේ රටේ ස්වාභාවික සම්පත් පිළිබඳව අවධානය යොමු කර නැහැ. අපේ ඛනිජ සම්පත්වලට අගය එකතු කිරීමට කිසිවකු කටයුතු කර නෑ. ඒ නිසා ඛනිජ සම්පත් සංවර්ධනය සඳහා කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

පැරණි වාරිමාර්ග ක්‍රමවේද 07ක් අනුරාධපුර නගරයේ තිබෙනවා. එම වාරිමාර්ග ක්‍රමවේද හත ප්‍රතිසංස්කරණය කිරීමට අප කටයුතු කරනවා. මෙවර අයවැයෙන් වෙන් කරන මුදල් නිශ්චිත ව්‍යාපෘතිවලට වියදම් කිරීම අවශ්‍යයි. මේ කටයුතුවලින් ආර්ථිකයේ පදනම ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

බලශක්තිය ආර්ථිකයට බලපාන ප්‍රධාන ක්ෂේත්‍රයක්. අද වනවිට විදුලිබිල අඩු වී තිබෙනවා.නමුත් විදුලි බිල අඩුවීම ස්ථාවරව තබාගන්න බැහැ.වහින කාලෙට විදුලි බිල අඩුවෙන,පායනකොට විදුලි බිල වැඩිවෙන ක්‍රමයට අප තිත තැබිය යුතුයි.එහිදී පුනර්ජනනීය බලශක්තියට වැඩි අවස්ථාවක් දිය යුතුයි. මන්නාරම සුළං විදුලි බලාගාරය ඉදිකිරීමට අප සැලසුම් කළා. එයින් විදුලි ඒකකයක් මිලදී ගන්නා මිල රුපියල් දාහතරක් වෙනවා. නමුත් පසුගිය රජය සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙවැනි ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා ගිවිසුම්ගත වී තිබෙන මිලදී ගැනීමේ මිල රුපියල් 18ක් වෙනවා.පසුගිය ආණ්ඩුව සාම්පූර් බලාගාරයෙන් විදුලි ඒකකයක් මිලදී ගැනීමට ගිවිසුම අත්සන් කර තිබුණේ ආසන්න වශයෙන් රුපියල් විසි හතරකටයි.නමුත් අප එය රුපියල් දාහතක් දක්වා අඩු කිරීමට කටයුතු කළා. සූර්ය බලාගාර ඉදි කිරීම සඳහා අක්කර 10,000ක් වෙන්කර ටෙන්ඩර් පටිපාටියක් හරහා ආයෝජකයන්ට ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ආර්ථිකය සඳහා අලුතින් ප්‍රවිෂ්ඨ වන අයට රාජ්‍ය බැංකුවක් සමඟ ඒකාබද්ධ වී සංවර්ධන ණය යෝජනා ක්‍රමයක් සකස් කරනවා. ඒ යටතේ සහන පොලියට ණය ලබා දෙනවා. ව්‍යාපෘති වාර්තාව පෙන්වා කර්මාන්ත අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව බැංකුවට ඉදිරිපත් කළ විට ණය ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කරනවා. නව ගොවිපළවල හිමිකාරීත්වයක් ඇති කිරීම සඳහා තරුණ පරම්පරාවට අවස්ථාව ලබා දෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතියක් ඇති කිරීම මගින් ආර්ථිකය ඉහළට ඔසවා තැබීමට අප සැලසුම් කරනවා. ගම දියුණු වී ආර්ථික වශයෙන් ඉහළයෑම අවශ්‍යයි.

ඒ වගේම පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීමට අප කටයුතු කරනවා. නාගරිකව නියමු ව්‍යාපෘතියක් ලෙස මේ ක්‍රමවේදය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. පැති ගණනාවක් ඔස්සේ අපේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට අප කටයුතු කරනවා.

ජනතාව අපට ඡන්දය ලබාදීමේදී සාධක කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළා. දේශපාලන සංස්කෘතිය,නාස්තිය, දූෂණය අවම කිරීම යන සාධක ජනතාව අපෙන් ඉල්ලා සිටියා. අපි පළමුවෙන්ම පැවති දූෂිත දේශපාලන සංස්කෘතියට තිත තැබුවා. අපි ඇමැතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දෙන්නේ නැහැ.ඒ සංස්කෘතිය අප අවසන් කර තිබෙනවා. ගිලන් රථ, පිටුපසින් ගියපු ඉතිහාසයක් තිබුණා.අපි කිසිම ඇමැතිවරයකුට නිල නිවාස ලබා දුන්නේ නැහැ. කොළඹ ජනාධිපති මන්දිරය හා නුවර ජනාධිපති මන්දිරය පමණක් තබාගෙන අනෙකුත් සියලු ජනාධිපති මන්දිර රටේ ආර්ථිකයට දායක කරගතහැකි ලෙස ආයෝජනය කිරීමට අප සැලසුම් කර තිබෙනවා.

ජනාධිපතිවරයා හා ඇමැතිවරුන් මෙලෙස කටයුතු කරන විට හිටපු ජනාධිපතිවරු කියනවා දේශපාලන පළිගැනීම් කරනවා කියලා. හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් කොළඹ හතේ කෝටි ගණන් වටින ඉඩම්වල ඉන්නවා. වර්ග අඩි තිස්දහස් ගණනක නිවෙසක සිටිනවා. අපේ මේ යහපත් දේශපාලන සංස්කෘතියට එන්න කැමැති අය එන්න. අපට හිටපු පාලකයන් සමඟ ඉඩම් නඩු නැහැ. නාස්තිකාර ජීවිත ගත කරන එක අපට හුරු නැහැ. නාස්තිකාර ජීවිත ගත කරන එක එයාලගේ ජීවිතවලට උරුම දෙයක් කියා ඔවුන් කියනවා. මහජනයාගේ ධනය එහෙම දෙන්න ඕනෑ ද? හිටපු ජනාධිපතිනිය ඉන්නේ වර්ග අඩි 15000ක නිවෙසක. පැරණි නාස්තිකාර කටයුතුවලට අපි කිසිවක් කියන්නේ නෑ. අද ඉඳන් නව දේශපාලන සංස්කෘතියට එන්න කියා අපි ඔවුන්ට කියනවා.

දේශපාලනඥයා කියන්නේ ජනතාවට වඩා ඉහළින් ඉන්න කෙනෙක් නොවෙයි. අපි මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍රය දෙන්නේ නැහැ. මන්ත්‍රීවරුන්ට නිවාස ලබාදෙන්නේ නැහැ. විශ්‍රාම වැටුප් ලබාදෙන්නේ නැහැ. දැන් සමහරු අහනවා කෝ දූෂිතයන් ඇල්ලුව ද කියලා. ඊට අදාළ පරීක්ෂණ කඩිනම් කිරීමට අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශක්තිය ලබා දී තිබෙනවා.

ශක්තිමත් ලෙස එම නඩු ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. අපි කිසිවෙක් පසුපස පෞද්ගලිකව හඹායන්නේ නැහැ. පරීක්ෂණ අවසන් වන ආකාරයට අධිකරණයට වාර්තා කරනවා. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර දාසයක් ගතවෙනවා. තාජුඩීන් ඝාතනය කර වසර දහතුනක් වෙනවා. තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධව කටයුතු කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා මේ වනවිට මියගිහින්. ඒ පිළිබඳ විමර්ශනය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් මේ වනවිට මිය ගොස් තිබෙනවා. එබැවින් ඇතැම් පරීක්ෂණ කල්ගත වෙනවා.

දත්ත නිසි ලෙස තිබෙනවා නම් අවශ්‍ය වෙලාවේදී තීන්දු තීරණ ගත හැකියි. එම නිසා ලබන ජූනි මාසය වන විට සමස්ත රාජ්‍ය සේවයේම දත්ත එක් රැස්කිරීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මින් පසුව සහල් හිඟයක් ඇතිවීමට අප ඉඩ තබන්නේ නැහැ. වීවලට සහතික මිලක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබාදීමට අපි කටයුතු කරනවා. උතුරේ පොල් වගා කිරීමට අක්කර 3000ක් හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා මුදල් මෙවර අයවැයෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඉතාම නරක, අන්තයටම කඩා වැටුණු රටක් අපි ක්‍රමානුකූලව ගොඩනඟමින් තිබෙනවා. එම වැඩපිළිවෙළ තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑමට අප සියලු දෙනා එක්ව කටයුතු කරමු.