විශේෂඥ වෛද්‍යවරියක් වීම අනාගත අපේක්ෂාවයි-දිවයිනේ වැඩිම ලකුණු 188 ලබාගත් හොරණ බිසඳි කියයි

2024 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත් වූ අතර එම ප්‍රතිඵල අනුව විභාග අපේක්ෂකයෙක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 188ක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පසුගියදා විභාග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ අනුව ලකුණු 188ක් ලබාගෙන තිබුණේ හොරණ රාජකීය ජාතික පාසලේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි රණතුංග ලියනගේ බිසඳි යෙවින්‍යා දියණියයි.

ඒ අනුව ඇය මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාව බවට පත් වූවාය. බිසඳි යෙවින්යා හොරණ දික්හේනපුර පදිංචි පවුලක බාල දරුවාය. ඇයගේ මව සහ පියා ද හොරණ රාජකීය ජාතික පාසලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යයාවන්වීම විශේෂයකි. බිසඳිගේ පියා ව්‍යාපාරිකයකු වන දිනුම් මදුරංග මහතාය. මව සජානා නේපාලි මහත්මියයි.

බිසඳිට එක් වැඩිමහල් සහෝදරයෙක් සිටින අතර ඔහු ද හොරණ රාජකීය ජාතික පාසලේ අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. බිසඳි යෙවින්‍යා දියණිය සිය ජයග්‍රහණය දැනගත් පසුව සිය මව්පියන් සමඟ තමන් ඉගෙනුම ලබන පාසල වන හොරණ රාජකීය විද්‍යාලයට පැමිණි අතර, එහිදී බුලත් හුරුල්ලක් දී විදුහල්පති රංගන ප්‍රීති කුමාර විතානගේ මහතාට මෙන්ම සිය ගුරු මව්වරුන්ට වැඳ ආශීර්වාද ලබා ගත්තාය. පළමු ශ්‍රේණියට හොරණ රාජකීය විද්‍යාලයට ඇතුළත් වූ බිසඳි දියණිය පළමු ප්‍රධාන අවධිය රුවිනි ජයවීර ගුරු මහත්මිය යටතේද, දෙවන ප්‍රධාන අවධිය කේ.ඒ .ඒ කුමාරි කුරුප්පුරු මහත්මිය යටතේ ද ,තෙවන ප්‍රධාන අවධිය, මානෙල් අමරතුංග ගුරු මෙණෙවිය යටතේ ද අධ්‍යාපනය ලැබුවාය.

මෙහිදී ලකුණු 188ක් ලබාගත් බිසඳි දියණිය මෙසේ කීවාය.

මට ඇත්තටම හරිම සතුටුයි. මේ ජයග්‍රහණය ගන්න මට ගොඩක් දෙනෙක් උදව් කළා. ඒ හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මම හැමදාමත් පාසල් ආවා. එදිනෙදා දීපු වැඩ ඔක්කොම එදිනෙදාම නිම කළා. හැම වාර විභාගෙකටම මම ලකුණු අනූපහට වැඩියෙන් ගත්තා. ඒ විතරක් නොවෙයි මං ගොඩාක් පොත්පත් කියෙව්වා. ඒකෙන් මට ගොඩාක් දැනුම ලැබුණා. මම විෂය සමගාමී වැඩවලටත් ගියා. අත්අකුරු තරග, චිත්‍ර තරගවලට සහභාගි වුණා. ඒවායින් ජයග්‍රහණත් ලැබුවා. මම මගේ අනික් නංගිලා මල්ලිලාටත් කියන්නේ හරි අධිෂ්ඨානයක් තිබෙනවා නම් කැපවීමක් තිබෙනවානම් ජයග්‍රහණය එතරම් අපහසු නොවන බවයි. අනාගතයේ දවසක විශේෂඥ වෛද්‍යවරියක් වෙලා මේ රටට ජනතාවට සේවය කරන එක තමයි මගේ බලාපොරොත්තුව.

බිසඳිගේ පන්තිභාර ගුරුතුමිය වූ ඒ.මානෙල් අමරතුංග ගුරුතුමිය මෙසේ පැවසුවාය.

Òබිසඳි කියන්නේ දක්ෂයන් අතර සිටි අතිදක්ෂ දරුවෙක්. ඇය පන්තියේ වාර විභාග ඇතුළු පරීක්ෂණවලදී ඉදිරියෙන්ම සිටියා. මට ලොකු විශ්වාසයක් තිබුණා බිසඳි හොඳ ලකුණකට යයි කියලා. ඇගේ විශේෂම දේ තමයි ලැබෙන හැම මොහොතකම ඇය මොකක් හරි පොතක් කියවනවා. පොත් කියවන්න පුදුම ආසාවක් තිබුණේ. මම එයාට හැමවිටම කිව්වේ පුතේ ඔයාට දෙසීයෙන් දෙසීයම ලකුණු ගන්න පුළුවන් කියලා. මේක මගේ ගුරු ජීවිතයේ ලැබුණු විශාලම ජයග්‍රහණයක්. ඒ වගේම ඇය පාසලට ගෙනත් දුන්නේ විශාල කීර්තියක්. ඇගේ අනාගතයට මම සුබ පතනවායිද පැවැසුවාය.

බිසඳිගේ මව වන සජානා නේපාලි මහත්මිය මෙසේ කීවාය.

අපට හරිම සතුටුයි. අපි හැමදෙනාගේම බලාපොරොත්තු දුව ඉටු කළා. ඇත්තටම දුව කුඩා කාලේ ඉඳන් හරි දක්ෂයි. හරිම කීකරු දරුවෙක්. දුවගෙ ඇස් දෙක සම්බන්ධ පුංචිකාලේ ඉඳන් ලොකු ගැටලුවක් තිබෙනවා.එයාගේ ඇස් පෙනීම දුර්වලයි. දැනටමත් එයාගේ ඇස් දෙකේ විශාල සැත්කමක් කර තිබෙනවා. තවත් සැත්කමක් මේ අවුරුද්දේ කරන්න නියමිතව තිබෙනවා. එවැනි දුෂ්කරතා රැසක් මැද තමයි මේ කටයුත්ත ජය ගත්තේ. පාසලෙත් හැම දෙනාගේම ආදරේට ලක් වුණා. එයා විභාගය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. අපි ඒ සඳහා දෙන්න පුළුවන් උපරිම සහයෝගය දුන්නා. පන්තිභාර ගුරුතුමිය ඇතුළු හැම දෙනෙක්ම දුවට උදව් කළා. ගණිත ගැටලු ඇතුළු අනෙකුත් විෂයන් සඳහා සුරාජ් මධුරප්පෙරුම සර් සහ අනුර අල්විස් සර් ගොඩක් උදව් කළා. දුවගේ ඇස් පෙනීම දුර්වල නිසා හැම තිස්සෙම කොතරම් පිරිස සිටියත් පන්තියේ ඉස්සරහටම අරගෙන තමයි වැඩ ටික කළේ. ඒ වගේම මගේ මහත්තයත්,මමත් රාජකීය විද්‍යාලයේම ආදි ශිෂ්‍ය ශිෂ්‍යයාවන් වීම ගැන අපිට ගොඩක් සතුටුයි. මගේ දුවගේ අනාගත බලාපොරොත්තු ඉටු වෙන්න කියා මම සුබ පතනවා. දුවගේ අනාගත සැත්කම් කටයුතුවලට දායකත්වය දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් අපට උදව් කරන්නැයි ඉල්ලා සිටිනවා.

විශිෂ්ට ජයග්‍රහණය ගැන විදුහල්පති රංගන කුමාර විතානගේ මහතා මෙසේ පැවසීය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල හොරණ රාජකීය ජාතික පාසලේ ඉතිහාසය වෙනස් කළ දවසක් විදිහටයි මම දකින්නේ. ඉතිහාසයේ පළමු වතාවට තමයි දිවයිනේ වැඩිම ලකුණු ලබාගෙන ප්‍රථමයා බිහි වන්නේ. ප්‍රාථමික අංශයේ දරුවන්ට පොතපතේ දැනුම මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම් උපරිමයෙන් කරමින් සමබර පෞරුෂයක් ගොඩනැඟීමට අවශ්‍ය කරන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මේ ජයග්‍රහණය මම දකින්නේ. බිසඳි අපි හැමෝටම හොඳ ආදර්ශයක් දුන්නේ. ඇය අපේ පාසලට ලොකු කීර්තියක් එළියක් ගෙනාවා. ඇයට ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම මේ වෙනුවෙන් කැපවීම් කළ විද්‍යාලයේ සියලු නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයට, වැඩසටහන් කළ ආදිශිෂ්‍ය සංගමයට, පාසල් සංවර්ධන සමිතියට, අනධ්‍යයන කාර්ය මණ්ඩලයට මෙන්ම පාසලට විවිධ අනුග්‍රාහක දායකත්වය ලබාදුන් හැමදෙනාටම මගේ ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා. රාජකීය මාතාව බිහිකළ විශිෂ්ටම දියණියට මම සුබ පතනවායිද පැවැසීය.

හොරණ සමූහ මංගල ප්‍රසන්න, හල්තොට සමූහ විනීතා මානෙල් ගමගේ, ගල්පාත චන්දන ජයලාල්, හොරණ සමූහ- මංගල ප්‍රසන්න