ජනතා බලයට විරුද්ධ කිසි දෙයක් මේ ආණ්ඩුව කරන්නේ නෑ-ජනපති අනුර දිසානායක හෝමාගමදී කියයි

පරම්පරාවකින් තොරව, මුදල් බලයෙන් තොරව, කුමන්ත්‍රණවලින් තොරව, මාධ්‍ය මඟින් බොරු ප්‍රචාර නොකර, ජනතාව එක්වී ගොඩනැඟූ ලංකා ඉතිහාසයේ එකම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ පෙරේදා (25) පස්වරුවේ හෝමාගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමිනි.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රධාන සාධකය ජනතාව බවත් මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, වර්තමානයේ ආණ්ඩුවට බරපතළ චෝදනා කරන හිටපු පාලකයන් විසින් රට බංකොලොත්භාවයට පත් කිරීමේ අහිතකර ප්‍රතිවිපාක පසුගිය කාලය තුළ සියලු ජනතාව අත්විඳි බව ද පෙන්වා දුන්නේය.

දූෂිත දේශපාලන ක්‍රමය අවසන් කර, රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා සැලසුමක් සහිත වැඩපිළිවෙළක් වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය-

“ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකින් ලබා ගන්නා ලද ඉහළම ප්‍රතිඵලය ලබා ගැනීමට පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී අපි සමත් වුණා. මේ ජයග්‍රහණය සාමාන්‍ය ජයග්‍රහණයක් නෙවෙයි. ලංකා ඉතිහාසය තුළ විවිධ ආණ්ඩු සකස් වී තිබෙනවා සේම විවිධ අවස්ථාවල ආණ්ඩු පෙරළී ගොස් තිබෙනවා. ඒ සෑම ආණ්ඩුවක්ම නිර්මාණය වීමේ දී ඊට ආවේණික වූ සාධක තිබුණා. මවුපියන් අගමැති ධුරවල රාජකාරී කළ නිසා දියණියට එය ලබා දුන් අවස්ථා තිබුණා. පරම්පරාව විසින් නායකත්වයට පත් කළ අවස්ථා අපේ රටේ තිබුණා.

එසේ නොමැතිනම් මාමා ජනාධිපති වූ පමණින් බෑනා ජනාධිපති කරවීම, අයියා ජනාධිපති නම් මල්ලී ජනාධිපති කරවීමේ ඉතිහාසයක් මේ රටේ තිබුණා. ඒ වගේම මැරබලය, රාජ්‍ය බලය, මුදල් බලය යොදවා රාජ්‍ය බලය ලබා ගත් අවස්ථා ලංකා ඉතිහාසයේ සුලබව තිබුණා.

විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් ආණ්ඩු බලය ලබා ගත් අවස්ථා ද මෙරට දේශපාලන ඉතිහාසය තුළ සොයා ගන්න පුළුවන්. පාස්කු ප්‍රහාරය වැනි කුමන්ත්‍රණ ඊට ආසන්නම උදාහරණයයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය මේ වනවිට හොඳින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මාධ්‍යයෙන් ප්‍රබල ලෙස මතවාද ගොඩනඟා ආණ්ඩු ගොඩනැඟූ යුගයක් ද මේ රටේ තිබුණා.

පරම්පරාවකින් තොරව, මුදල් බලයෙන් තොරව, කුමන්ත්‍රණවලින් තොරව හා මාධ්‍ය මඟින් බොරු ප්‍රචාර නොකර ලංකා ඉතිහාසයේ ගොඩනැගුණු එකම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ප්‍රධාන සාධකය වන්නේ ජනතාව වන ඔබයි. ශ්‍රී ලංකාවේ පළමු වතාවට ජනතාව එක්වී ගොඩනැගූ ආණ්ඩුව වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවයි.

අප භාර ගත්තේ ආර්ථික වශයෙන් විශාල ලෙස කඩා වැටී තිබූ රටක්. තෙල්, ගෑස්, පෝලිම් ඇති වී ඩොලර් සංචිත නොතිබුණ රටක් වත්මන් ආණ්ඩුවට භාර ගැනීමට සිදු වුණා. මතුපිටින් සමනය වී තිබුණත් අපට හිමි වුණේ අභ්‍යන්තරව විශාල අර්බුදයක් සහිත ආර්ථිකයක්. එවැනි රටක් ඉදිරියට ගෙන යෑමට නම් නිවැරදි ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ අභියෝගයක් ආණ්ඩුවට තිබුණා.

මහජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි විශාල බලාපොරොත්තු තබාගෙන තිබුණා. ඒ අනුව ප්‍රධාන සාධක තුනක් ඔස්සේ රට නිවැරදි දිශාවකට හැර විය යුතු බවට ජනතාව විශ්වාස කළා. ජරාජීර්ණ, නාස්තිකාර දේශපාලනය අවසන් කිරීම, ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒම, නීතියේ ආධිපත්‍යයට ගරු කරන විනයගරුක සමාජයක් ඇති කිරීම යන ප්‍රධාන කරුණු වත්මන් ආණ්ඩුවට බලයට පත් කර ගනිමින් ජනතාව අපේක්ෂා කළා. මෙම සාධක ඉටු කිරීම ආණ්ඩුව ඉදිරියේ තිබෙන අභියෝග යි. මේවා ජය ගැනීම සඳහා ආණ්ඩුව විසින් ගතයුතු ක්‍රියාමාර්ග කිහිපයක් තිබුණා.”

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට විදේශ සබඳතා නොමැති බවට විවිධ කණ්ඩායම් විසින් විවිධ කටකතා පතුරවා තිබුණා. ඇතැම් ජාත්‍යන්තර සංවිධානවලට ජාතික ජන බලවේගය පිළිබඳ යම් සැකයක් පවා තිබුණා. මීට පෙර පාලකයන් ජාතික ජන බලවේගය පිළිබඳ ගොඩනඟා තිබූ මතවාද ඊට හේතු වුණා.

සාමාන්‍යයෙන් මෙරට පත්වන රාජ්‍ය නායකයකු සිය පළමු රාජ්‍යතාන්ත්‍රික හමුව පවත්වන්නේ අසල්වැසි ඉන්දියාව සමඟ යි. එම නිසා අප පළමු සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගනු ලැබුවා. ඉන්දු – ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සබඳතා නව පියවරකට ඔසවා තැබීමට එහිදී අප සමත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ග සංඥා පද්ධතිය නවීකරණය සඳහා ලබා දෙන ණය ආධාරය, ප්‍රදානයක් බවට පත් කිරීමට ඉන්දියානු රජය එකඟ වුණා.

යුද්ධය නිසා සංවර්ධනයෙන් පසුබෑමට ලක් වූ නැඟෙනහිර පළාත සංවර්ධනය කිරීම සඳහා ප්‍රදානයක් ලබා දීමට ඉන්දියානු සංචාරයේ දී එකඟතාව පළ වුණා.

2030 වසර වනවිට ශ්‍රී ලංකාව ජාතික විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගත යුතුව තිබෙනවා. එම ධාරිතාව සම්පූර්ණ කර ගැනීම ශ්‍රී ලාංකාවේ විදුලි මිල සම්බන්ධව ද ඍජු බලපෑමක් එල්ල කරනවා.

යෝජිත සාම්පූර් සූර්යබල ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට ද ඉන්දියානු රජය කැමැත්ත පළ කර තිබෙනවා. ඒ සඳහා ප්‍රාග්ධන අවශ්‍යතාව වෙනුවෙන් හා තාක්ෂණ අවශ්‍යතාව වෙනුවෙන් සමාගමක් ස්ථාපිත කිරීමට අපි අපේක්ෂා කරනවා. එම නව සමාගම මඟින් සාම්පූර් බලාගාරයේ වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතයි.

සාම්පූර් බලාගාරයේ ආයෝජන පැමිණෙනවිට විදුලි ඒකකයක් ඩොලර් ශත හයකට මිලදී ගැනීමට යෝජනා වී තිබුණා. විදුලි ඒකකයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීමට ඉන්දියානු සංචාරයේ දී මම කටයුතු කළා. ඒ අනුව ඒකකයක් මේ වනවිට ඩොලර් ශත 5.84කට මිලදී ගැනීමට යෝජනා වී තිබෙනවා. සූර්ය බලශක්ති නිෂ්පාදනයෙන් විදුලි ඒකකයක් මිලදී ගැනීමේ මෑතකාලයේ අඩුම මිල බවට එය පත් වී තිබෙනවා.

සූර්ය බලයෙන් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් මිලදී ගැනීම සඳහා කලින් අත්සන් කර ඇති ගිවිසුමට අනුව විදුලි ඒකකයක් මිලදී ගනු ලබන්නේ ඩොලර් ශත 8ක මුදලකටයි. ආසන්න වශයෙන් ගත් විට එය රුපියල් විසි හතරක්. වත්මන් ආණ්ඩුව යෝජනා කර ඇති විදුලි ඒකක මිලදී ගැනීමේ මිල ආසන්න වශයෙන් ගත්විට රුපියල් 18ක්. අපේ විදේශ සබඳතාවල ශක්තිමත්භාවය මෙම ගිවිසුම් මඟින් අනාවරණය කරගත හැකියි.

චීනය සහ ඉන්දියාව අතර යම් ප්‍රතිවිරෝධයක් පවතින බව රහසක් නෙමෙයි. ඒ පිළිබඳ වත්මන් ආණ්ඩුව ද හොඳ ස්ථාවරයක සිටිනවා. ශ්‍රී ලංකාව කවර හෝ රාජ්‍යයකට එරෙහි සටන් භූමියක් බවට පත් කිරීමට අප ඉඩ තබන්නේ නැහැ. අපේ ආණ්ඩුවට ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් තිබෙනවා.

අප සිදු කළ චීන රාජ්‍ය සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස රුපියල් මිලියන විසි දාහක පමණ ආධාරයක් ශ්‍රී ලංකාවට හිමි වුණා. හම්බන්තොට ඉදිවන තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු කඩිනම් කිරීමට චීන සංචාරයේදී එම සමාගම එකඟතාව පළ කළා. එසේම ඩොලර් බිලියන 3.7ක එම ආයෝජනය ලංකා ඉතිහාසයේ වැඩිම ආයෝජනය වීම ද විශේෂත්වයක්. එම ආයෝජන ප්‍රමාණයෙන් දෙකෙන් පංගුවකවත් එක් ආයෝජනයක් සඳහා පසුගිය වසර 76 තුළම ශ්‍රී ලංකාවට ලැබී තිබුණේ නැහැ.

චීනය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් 15කට අත්සන් තැබීම ද මෙම සංචාරය අතරදී සිදු වුණා. එමෙන්ම පෙබරවාරි මස මැදපෙරදිග කලාපයේ සංචාරයකට එක් වීමට ද අප බලාපොරොත්තු වෙනවා. මැදපෙරදිග කලාපය සමඟ ද සබඳතා ශක්තිමත් කර ගැනීම අපගේ අපේක්ෂාව වෙනවා.

ආයෝජකයන්, කර්මාන්තකරුවන් වෙ‍ෙළඳපොළ කෙරෙහි විශ්වාසය ඇති කිරීම සඳහා නව ආණ්ඩුවට සැලසුමක් තිබෙනවා. සැලසුමක් අනුව එසේ නොකරන්නේ නම් ඩොලරය ශ්‍රී ලංකා රජයට පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්වීමට ඉඩ තිබුණා. එසේවූවා නම් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට නොහැකි වීමට ඉඩ තිබුණා. ආර්ථිකයේ ස්ථාවරභාවය ඇති කිරීම වෙනුවෙන් ආර්ථිකය කෙරෙහි විශ්වාසය ගොඩනැඟීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛ අරමුණ වුණා.

එම විශ්වාසය ගොඩනැඟීම වෙනුවෙන් අප මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සම්පූර්ණයෙන් අවසන් කිරීමට අප සමත් වුණා. ශ්‍රී ලංකාව පසුගිය මාසයේදී නිල වශයෙන් බංකොලොත්භාවයෙන් මිදීම ප්‍රකාශ කෙරුණේ ඒ අනුවයි.

ඒ අනුව මෙරට බැංකු පද්ධතිය කෙරෙහි තිබූ විශ්වාසය යළි තහවුරු කිරීමට හැකිව තිබෙනවා. ජපාන ආධාර යටතේ මෙරට ආරම්භ කර අතරමඟ වැඩ නැවතී තිබූ ව්‍යාපෘති 11ක වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමට වත්මන් රජයට හැකි වුණා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පුළුල් කිරීම එහි ප්‍රධාන ව්‍යාපෘතියක් වෙනවා. ජපාන රජය සමඟ සාකච්ඡා කර මෙම ව්‍යාපෘති සියල්ල නැවත ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව අනුව ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති 11ක් සහ චීන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති 76ක වැඩ නැවත ආරම්භ කිරීමට පසුගිය මාස දෙකක කාලය තුළ වත්මන් රජයට හැකියාව ලැබී තිබෙනවා.”

“සහනාධාර හිමිවිය යුතු පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් සහනාධාර ලබා දෙන ක්‍රමවේදයක් සකස් කිරීමට වත්මන් රජය සැලසුම් කර තිබෙනවා. ආධාර ලැබීමට සුදුසු පුද්ගලයන් පිළිබඳ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා. ලබන ජූනි මාසය වනවිට එම දත්ත පද්ධතිය නිර්මාණය කිරීමට අපි අපේක්ෂා කරනවා.

එසේම රැක බලා ගතයුතු කණ්ඩායම් රැකබලා ගැනීම සඳහා වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතුයි.

පාසල් පොත් ලබා ගැනීම සඳහා ආධාර ලබා දීමේ දී ඒ සඳහා සුදුසු පවුල් පිළිබඳ දත්ත සොයා ගැනීමේ අපහසුතාවකට මුහුණදීමට අපට සිදු වුණා. එම සියලු සහනාධාර මේ වනවිට ලබා දෙනුයේ පවතින අස්වැසුම දත්ත ගබඩාව අනුවයි. ආධාර අවශ්‍ය සියලු දෙනාගේම තොරතුරු රැස්කර ගැනීමේ නව ව්‍යාපෘතියක් කඩිනමින් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කිරීමට වත්මන් රජය සහතික වී තිබෙනවා. 2022 -2023 වසරවල දී ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ අර්බුදයට යළි කිසි දිනක මුහුණදීමට සිදු නොවන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟෙන බවට ජාතික ජන බලවේගය ආණ්ඩුව ජනතාවට සහතික වෙනවා.

අද විශාල ලෙස ආණ්ඩුවට චෝදනා කරන හිටපු පාලකයන් මේ රට බංකොලොත්භාවයට පත්කිරීමේ අහිතකර ප්‍රතිවිපාක පසුගිය කාලය තුළ ජනතාවට අත්විඳීමට සිදු වුණා. ගෑස්, ඉන්ධන හා ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකි තරම් රටේ ආර්ථිකය පහළට ඇද දැමීමට මේ රටේ හිටපු පාලකයන්ගේ ක්‍රියාකලාපය ඉවහල් වුණා. කෙසේ වෙතත් මේ වනවිට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය ශක්තිමත් පදනමක් වත්මන් රජය විසින් සකස් කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය තමන්ගේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් මහජන උපයෝගීතා කොමිසමට ලබා දිය යුතුයි. මහජන උපයෝගීතා කොමිසම, මිල සංශෝධනය වන්නේ කෙසේදැයි ප්‍රකාශයක් නිකුත් කරනු ලබන්නේ එම වාර්තාව නිරීක්ෂණය කිරීමෙනුයි. පසුගිය මාසයේ දී විදුලිබල මණ්ඩලය විදුලි හිඟයක් ඇති විය හැකි බවට වාර්තා කර තිබුණා. නමුත් සියලු දත්ත හා වාර්තා සැලකිල්ලට ගෙන මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල අඩු කළ හැකි බව දන්වා සිටියා. ඒ අනුව විදුලි බිල අඩු කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබුණා.

මෙවැනිම සිදුවීමක් මීට වසර කිහිපයකට පෙරසිදු වුණා. එහිදී විදුලිබල මණ්ඩලය මිල අඩු කළ නොහැකි බවට තමන්ගේ වාර්තා මඟින් පෙන්වා දී තිබුණා. නමුත් මහජන උපයෝගීතා කොමිසම ඊට එරෙහිව යමින් විදුලි මිල අඩු කළ හැකි බව පෙන්වා දුන්නා. එම අවස්ථාවේ දී මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පාර්ලිමේන්තු දෝෂාභියෝගයකින් ගෙදර යවනු ලැබුවා. මේ නිසාම ජනතාව විධිමත් ක්‍රමවේදයක් අපේක්ෂා කළා. එම ක්‍රමවේදයන්ට පණදීමට වත්මන් ආණ්ඩුව මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.

ආරම්භයේ දී ශ්‍රී ලංකාව ගොඩනැඟීමට නම් පුද්ගලයන් කෙරෙහි විශ්වාසය තැබිය යුතුව තිබෙනවා. දිගුකාලීනව ශ්‍රී ලංකාව ගොඩනැඟීමට නම් ව්‍යුහයන් පිළිබඳ විශ්වාස තැබිය යුතුයි. එම නිසා කඩා වැටී තිබෙන සෑම තැනකම වෙනස ආරම්භ කිරීමට විශ්වාස කළ යුත්තේ පුද්ගලයායි. ආයතන පද්ධතිය කෙරෙහි ජනතාවට විශ්වාසය තැබිය හැක්කේ ආරම්භයේදීම පුද්ගලයා කෙරෙහි විශ්වාසය තැබීමෙන් පමණයි. විදුලි බිල ස්ථාවරව පවත්වාගෙනයෑමට නම් බලශක්ති ක්ෂේත්‍රයට නව බලාගාර ඇතුළත් විය යුතුයි.

මන්නාරම සුළං බලාගාරය නිවැරදි ටෙන්ඩර් පටිපාටියක් ඔස්සේ ආයෝජකයෙක් වෙත ලබා දී තිබෙනවා. එමඟින් විදුලි ඒකකයක් රුපියල් දාහතරකට මිලදී ගැනීමට ගිවිසුම්ගත වී තිබෙනවා. ඒ අනුව ඉදිරි වසර දෙක ඇතුළත ශ්‍රී ලංකාවේ විදුලි බිලෙහි ස්ථාවරභාවයක් ඇතිවිය හැකියි.

2030 වසර වනවිට කන්ටේනර් ලක්ෂ130ක මෙහෙයුම් කටයුතු සඳහා කොළඹ වරාය සංවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. වරාය තදබදය අවසන් කර රටේ ආර්ථිකයට වරාය දායක කර ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. කෙරවළපිටියේ නව බහාලුම් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඇති කිරීමටත්, වරායේ යටිතල පහසුකම් වර්ධනය කිරීමටත් අපේක්‍ෂා කරනවා.”

“උතුරු පළාතේ අක්කර 40,000ක පොල් වගා කිරීමට සැලසුම් කර තිබෙනවා. වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 500ක් වෙන් කිරීමටත් වී ගබඩා ප්‍රතිසංස්කරණය කිරීමටත් වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

ලෝකයේ අනෙකුත් රටවල් සංවර්ධනය වී තිබෙන්නේ අයාලේ යන ක්‍රමවේදයට නෙමෙයි. දත්ත සහ තොරතුරු පදනම්ව අනාගත පුරෝකථනය සිදු කරමිනුයි. ඉදිරි සති දෙකෙන් පසු සහතික මිලට වඩා වැඩි මිලට සහල් වෙ‍ෙළඳපොළේ නොතැබීමට රජය කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා අවශ්‍ය දත්ත සහ තොරතුරු මේ වනවිටත් එක්රැස් කරමින් තිබෙනවා.

අද දේශපාලන ක්‍රමවේදය රටට හිතකර ලෙස පරිවර්තනය වී තිබෙනවා. නමුත් ඒ අයුරින්ම ආර්ථික ක්‍රමවේදයන් තවමත් වෙනස් වී නැහැ. දේශපාලන නායකත්වයේ මැදිහත්වීම තුළින් ආර්ථික පරිවර්තනයක් ඇති කරන්න පුළුවන්. ඒ සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා සැලසුමක් සහිත වැඩපිළිවෙළක් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

පසුගිය වසර පහ තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 12,000ක් මියගියා. 33,000ක් සදාකාලික ආබාධිත වුණා. 43,000ක් කවර හෝ තුවාලයක් ලබා තිබෙනවා. මෙය ජාතික ඛේදවාචකයක්. මෙම අනතුරු වැළැක්වීම වත්මන් ආණ්ඩුව වගකීමක් ලෙස භාර ගෙන තිබෙනවා. නොසැලකිල්ල, බීමත්කම, වාහන අබලන් වීම වැනි කරුණු මෙම අනතුරුවලට හේතු වී තිබෙනවා. මේ පිළිබඳ සොයා බලා දකුණු ආසියාවේ මාර්ග අනතුරු අඩුම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට රජය සැලසුම් සකස් කරමින් තිබෙනවා.

පසුගිය දශක දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවේ වන ගහනය ශීඝ්‍රයෙන් අඩු වී තිබෙනවා. එය අනාගත ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාසවලට ඍජුව බලපාන සාධකයක් වනවා. රටේ වන ගහනය ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. වසවිසෙන් තොර ගුණාත්මක ආහාර වේලක් ලබා ගැනීමට පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙනවා. Clean Srilanka වැඩපිළිවෙළ යටතේ මෙම සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සමාජ අපේක්ෂාවන් ඉටු කිරීම අපගේ අපේක්ෂාවයි.

දූෂිතයන් පිළිබඳ ගන්නා වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ජනතාව නිරන්තර අවධානයෙන් පසු වන බව අප දන්නවා. මා පරීක්ෂකයාවත්, නඩු ගොනු කරන්නා හෝ නඩු විභාග කරන්නාවත් නෙමෙයි. නමුත් එම පරීක්ෂණ සිදු කරන රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම ආණ්ඩුවේ වගකීමයි. ඒ වෙනුවෙන් ආණ්ඩුව කැපවී සිටිනවා.

පසුගියදා හිටපු අමාත්‍යවරයකු සහ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව මාධ්‍ය වාර්තා කර තිබුණා. නමුත් එය හිටපු ඇමැතිවරයකු සහ ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස නිවැරදි විය යුතුයි. පසුගිය පාලන සමයේ ආණ්ඩු කර තිබෙනුයේ පවුල් විසින් බව ඉන් පැහැදිලි වනවා. අත්අඩංගුවට ගැනීමේ දී පමණක් ඇමැති ස්වාමිපුරුෂයා සහ බිරිය අත්අඩංගුවට ගැනීමක් ලෙස හුවා දැක්වීම නිවැරැදි වන්නේ නැහැ.

කෙසේ වුවද මෙම පැමිණිල්ලට අදාළ විමර්ශන ලිපි ගොනුව 2015 වසරේ සිට ඉතා ප්‍රමාද වෙමින් අදාළ ආයතන මඟින් මෙහෙයවා තිබුණා. මේ වනවිට මෙම පරීක්ෂණ අවසන් කිරීම කඩිනම් කර තිබෙනවා.

ලසන්ත වික්‍රමතුංග මහතා මීට වසර 16කට කලින් ඝාතනයට ලක් වුණා.

තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියා කළ අධිකරණ වෛද්‍යවරයා මෙන්ම ඒ පිළිබඳ විමර්ශනය කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් මේ වනවිට මියගොස් තිබෙනවා. මේ පරීක්ෂණ යටපත් වී සාක්‍ෂි දිරා පත් වී තිබෙන අවස්ථාවක් වුවත් එම පරීක්ෂණ පවා කඩිනම් කිරීමට අදාළ අංශ අප විසින් ශක්තිමත් කර තිබෙනවා. ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අප විසින් පූර්ණ නිදහස ලබා දී තිබෙනවා.

අදාළ පරීක්ෂණ සඳහා ආණ්ඩුවක් ලෙස ස්ථාවරත්වයක් සකසා දිය හැකියි. නමුත් එම පරීක්ෂණයේදී දඬුවම් ලබා දිය හැක්කේ අධිකරණයෙන් පමණයි. අධිකරණයෙන් ඇප ලබා දීම සම්බන්ධයෙන් ජනතාව සැකයක් තබාගත යුතු නැහැ. දූෂිත පාලකයන්ට අධිකරණයේ නඩු පැවරීම වත්මන් රජයේ අරමුණයි. ඊට ශක්තිමත් සාක්ෂි එකතු කිරීම අදාළ ආයතනවලින් සිදු කළ යුතුයි. ඇතැම් නිලධාරීන් දූෂිතයන්ට අදාළ ලිපි ගොනු සඟවාගෙන සිටිනවා. ඔවුන් එම ලිපි ගොණු කලින් පාලකයන්ට ලබා දුන්නේ නම් ඔවුන්ගේ රැකියාව අහිමි වේය යන බියෙන් පසු වුණා. එම නිලධාරීන් මෙවැනි ආණ්ඩුවක් පැමිණෙන තෙක් බලාපොරොත්තුවෙන් පසු වී තිබුණා.

පොලිස් දෙපාර්තමේන්තුව සතුව විමර්ශන ලිපි ගොනු 29,000ක් පවතිනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ කොටස් කිහිපයකට අදාළ විමර්ශන ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මූල්‍ය අපරාධ පිළිබඳ ඒකකයක්, මිනීමැරුම් විමර්ශනය සඳහා ඒකකයක්, මත්ද්‍රව්‍ය පිළිබඳ ඒකකයක් ලෙස නව ඒකක නිර්මාණය කර තිබෙනවා. දිනපතා වැටලීම් සිදු කරමින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගැනීම්, ආයුධ ළඟ තබා ගන්නන් අත්අඩංගුවට ගැනීම් කඩිනම් කර තිබෙනවා.

මීට පෙර දේශපාලන නායකයන් පරිවාර වාහන සහිතව ගමන් ගත් ආකාරය ඕනෑම පුද්ගලයකුට දැකිය හැකි සුලබ කරුණක් වුණා. නමුත් වත්මන් දේශපාලන සංස්කෘතිය වෙනස් වීමත් සමඟ මාර්ග වසා දමා ජන ජීවිතවලට පීඩා කරමින් වාහන පරිවාර සහිතව ගමන් ගන්නා දේශපාලන නායකයන්ගේ රථ මේ වනවිට දැකගැනීමට නැහැ. කිසිදු ඇමැතිවරයකු රජයෙන් නිල නිවසක් ලබා ගෙන නැහැ. කොළඹ ජනාධිපති මන්දිරය සහ මහනුවර ජනාධිපති මන්දිරය හැර සියලුම ජනාධිපති මන්දිර, ඇමැති නිල නිවාස රජයට පවරා ගෙන ආර්ථිකයට දායක කරගත හැකි ආකාරයෙන් පරිහරණය කිරීම සඳහා සැලසුම් කර තිබෙනවා.

රටේ ජනාධිපතිවරයාට හෝ කිසිදු ඇමැතිවරයකුට නිල නි‍ෙවසක් නොමැති විට වර්ග අඩි 30,000කට වඩා විශාල නිවාස ඉල්ලා සිටීමට තරම් හිටපු පාලකයන් කටයුතු කරමින් සිටිනවා. පැල්පත් නිවාස ඉවත් කර එම නිවාසවල සිටි පවුල් ඒකකයට ලබා දුන් නි‍ෙවසක වර්ග අඩි ප්‍රමාණය වර්ග අඩි 450ක්. කොළඹ නගරය මධ්‍යයේ අක්කරයයි පර්චස් තුනක් වන රුපියල් කෝටි 350ක වටිනාකමින් යුත් නිවසක හිටපු පාලකයෙක් සිටිය යුතු ද? තනි කෙනකුට වර්ග අඩි පහළොස් දහසක නිවසක සිටිය හැකි ද? රටම වෙනස් වීම සඳහා බලකර සිටිය දී එසේ වෙනස් නොවන්නේ ඇයි? අගමැති ලෙස අරලියගහ මන්දිරය ද, හිටපු ජනාධිපති ලෙස විජයරාම නි‍ෙවස ද එකම අවස්ථාවක භාවිත කළ හිටපු පාලකයන් අද එම නිවස භාර දීමට පසුගාමී වී සිටිනවා.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යහපත් සම්ප්‍රදායන් ඔස්සේ මේ රට මීට වඩා ඉහළට ඔසවා තැබීම සඳහා කැප වී සිටිනවා. මීට පෙර ජනාධිපතිවරයාට අමාත්‍යාංශ තිබුණේ නම් ඒ ඒ අමාත්‍යාංශ සඳහා අයවැය මඟින් ඇමැතිවරයාට අදාළ මුදල් වෙන් කිරීම සිදුකර තිබෙනවා. නමුත් මෙවර අයවැයේදී ඒ වෙනුවෙන් මුදල් වෙන් කිරීමක් සිදු වන්නේ නැහැ. වත්මන් ආණ්ඩුව ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරනවා. යම් අතපසුවීමක්වුවහොත් එය නිවැරදි කිරීමට තරම් නම්‍යශීලීව කටයුතු කිරීමට ආණ්ඩුව අපේක්ෂා කරනවා.

රටක් ලෙස පිරිසුදු වීමට නම් මීට වඩා හොඳ අවස්ථාවක් ඉදිරියේ දී ලැබෙනු ඇත්තේ නැහැ. මහජනතාවගේ දේපළට අත තැබීම සාංඝික දේපළට අත තැබීමක් යන හැඟීම සෑම පාලකයකුටම තිබිය යුතු යැයි අපි සිතනවා. එබැවින් අපි මෙම නව පරිවර්තනය අද සිට හෝ ආරම්භ කරමු.”

උපාලි කරුණාරත්න සහ චමීර ඇල්ලදෙණිය