හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ රෝගී තත්ත්වයක් පිළිබඳ විස්තර අධිකරණයට ඉදිරිපත් කිරීමට වෛද්‍ය සහතිකයක් දෙන ලද වෛද්‍යවරයකු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සපයන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක අධ්යක්ෂවරයාට ඊයේ (22) නියෝග කළේය.
වෙළෙඳ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට සතොස සේවකයන් යෙදවීමේ චෝදනාවට මහාධිකරණය ඉදිරියේ පවරා ඇති නඩුව අවසන් වරට විභාගයට ගත් පසුගිය සැප්තැම්බර් 14 දා විත්තිකරු අධිකරණය ඉදිරියේ පෙනී නොසිටියේය.
එහිදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා විත්තිකරුගේ රෝගී තත්ත්වය දැක්වෙන වෛද්‍ය සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කළේය.
නාරහේන්පිට ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක සේවය කරන වෛද්‍යවරයකු ලෙස දක්වා ලිපි ශීර්ෂයකින් තොරව ආර්.පී.කේ. චන්දන යන නමින් මෙම වෛද්‍ය සහතිකය නිකුත් කර තිබේ.
අදාළ තැනැත්තා කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ඉගෙන ගත් බව සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු කුඩා කාලයේ සිට දන්නා හඳුනන බව එම ලිපියේ දක්වා ඇත. ඔහු විත්තිකරුගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කරන බවත් ඒ අනුව කළ පරීක්ෂාවේදී චුදිතට බලවත් පිටකොන්දේ අමාරුවක් ඇති බව පෙනී ගිය නිසා ඔහුට වෛද්‍ය හේතුමත නඩු විභාගයට සහභාගි විය නොහැකි බව දක්වා තිබේ.
එම වෛද්‍යවරයා අදාළ රෝහලේ කුමන අංශයක සේවයේ නිරතව ඇත්තේ ද යන්න ගැන වෛද්‍ය සහතිකයේ නොදැක්වෙන බව අල්ලස් හෝ දූෂණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ගංගා හෙයියන්තුඩුව මහත්මිය අධිකරණයේ අවධානය යොමු කරන ලදි. එම කරුණු දැක්වීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ, එම නමින් වෛද්‍යවරයකු අදාළ රෝහලේ කාර්ය මණ්ඩලයේ හෝ බාහිර ප්‍රතිකාර අංශයේ සේවය කරන්නේ ද යන්න අධිකරණයට වාර්තා කරන ලෙසය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2010 – 2015 දක්වා කාලය තුළදී සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මඟින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතුවල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ දූෂණය යන වරදට නඩු පවරා ඇත.
සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් නඩුවේ සෙසු විත්තිකරුවන් වේ. මාර්තු 26 දා නඩුව යළි කැඳවීමට නියමිතය.