විචක්ෂණශීලි දේශපාලන නායකත්වයක් බිහි කරගැනීමට නොහැකි වීම නිසා සිනමා ක්ෂේත්රයේ ගැටලු විසඳා ගැනීමට නොහැකි වු බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවැසුවේ ලාංකේය කතානාද සිනමාවට වසර 78ක් පූර්ණ වීමත්, ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කර වසර 53ක් පිරීමත් නිමිත්තෙන් පසුගියදා (21) ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී පැවැති සැමරුම් උත්සවයට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවැසීය.
“දේශපාලනඥයෙක් වගේම ඇමැතිවරයෙක් වෙන්න බලාපොරොත්තුවක් නොතිබු මාව චිත්‍රපට රසිකයෙක් ලෙස සලකන්න. අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 26න් එකක් චිත්‍රපට සංස්ථාව. චිත්‍රපටි සංස්ථාව භාර දෙන්නේ කාටද කියලා හිතනකොට මට මතක් වුණේ සුදත් මහදිවුල්වැව. ඒ පත්කිරීම නිවැරදි බව අද පෙනෙන්න තිබෙනවා.
1925 රාජකීය වික්‍රමයේ ප්‍රධාන චරිතය රඟපෑ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මුදල් ඇමැතිවරයාව සිටියදී චිත්‍රපටි සංස්ථාව ඇරඹුවා. ආචාර්ය සරත් අමුණුගම එහි ප්‍රථම සභාපති. එදා සිරිමාවෝ මැතිනියගේ මැතිවරණ සටනේදී රාජ්‍ය සිනමා සංස්ථාවක් ඉල්ලුවා. ශ්‍රී ලංකාව ජනරජයක් වෙනකොටම රාජ්‍ය චිත්‍රපට සංස්ථාව ලැබුණේ ඒ විදිහට.
බී. ඩබ්. ජයමාන්න යුගයේ සිට මේ මොහොත දක්වා කර්මාන්තයේ නොවිසඳුණු ප්‍රශ්න රැසක් තිබෙනවා. මේ ගැටලු නොවිසඳුණේ අපට හොඳ දේශපාලන නායකත්වයක් බිහි කර ගන්න බැරි වු නිසයි. ඔබ ක්ලීන් සිනමාවක් බලාපොරොත්තු වෙනවා. චිත්‍රපටි බෙදා හැරීමේ ක්‍රමවේදය යුක්ති සහගත කර ගන්න ඔබට අවශ්‍යයි. අපට එක මේසයක කතා කරලා නොවිසඳුණු ගැටලු කඩිනමින් විසඳාගෙන රට නිසි මඟකට යොමු කර ගන්න පුළුවන්. එදා අනුර දිසානායක විපක්ෂ මන්ත්‍රීවරයකු විදිහට චිත්‍රපටි කර්මාන්තය ගැන කතා කරනකොට හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල දුන් පිළිතුරු හැන්සාඩ් එකේ තියෙනවා.
අපේ අමාත්‍යාංශවල තියෙන්නේ අපේ වයස වගේ දෙතුන් ගුණයක් වයස පනත්. මේවා නැවත සලකා බලන්න ඕනේ. චිත්‍රපටය සංස්ථාවේ හිටපු සභාපතිවරුන් විශාල වැඩ කොටසක් සිදු කළා. හැබැයි විචක්ෂණශීලී දේශපාලන නායකත්වයක් නොවූ නිසා අපේ සිහින සැබෑ වුණේ නෑ. සිනමාවට සම්බන්ධ ක්ෂේත්රවල ශිල්පීන්ගේ ප්‍රශ්න කර්මාන්තයක් ලෙස විසඳිලා නෑ. මේ ප්‍රශ්න විසඳන්න අවංක කැපවීමක් අපි පළ කරනවා. ජාතික චිත්‍රපට අරමුදලක් හදන්න ඕනේ. ඒ වගේම ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා බලාපොරොත්තු වූ චිත්‍රපට සංරක්ෂණාගාරයක් හදන්න ඕනේ. චිත්‍රපට පාසල ඉදි කරන්න ඕනේ. විශ්වවිද්‍යාලවල, පාසල්වල සිනමා සමාජ හදනවා.
ඔබේ වුවමනාවයි දේශපාලන වුවමනාවයි අතර එදා පරතරයක් තිබු නිසයි ප්‍රශ්න විසඳුණේ නැත්තේ. අද එහෙම පරතරයක් අපි අතර නෑ. සිනමාවට සම්බන්ධ සෑම ක්ෂේත්රයකම ප්‍රශ්න එක මේසයකදී සාකච්ඡා කර විසඳා ගමු.”
මේ අවස්ථාවට කලාකරුවන් රැසක් සහභාගී වූ අතර, චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කළ එවකට අග්රාමාත්යවරියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පුෂ්පෝපහාර දැක්වීම සහ සංස්ථාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් දෙදෙනකු අගයා සම්මානයට පාත්‍ර කිරීම ද මෙහිදී සිදු විය.
ප්‍රධාන දේශනය ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා විසින් සිදු කළ අතර, චිත්‍රපට ක්ෂේත්රය සඳහා කළ සේවය අගයා ප්‍රවීණ රංගවේදී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රවීණ රංගවේදිනී වසන්ති චතුරානි, ප්‍රවීණ රංගන ශිල්පී හා ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා මහත්ම මහත්මීහු සම්මානයට පාත්‍ර වූහ.
මීට සමගාමීව නාමල් ප්‍රසන්ත විසින් රචිත ‘වාර්තා චිත්‍රපට වංශය’ සහ චිත්‍රපට සංස්ථාව විසින් සම්පාදනය කරන චිත්‍රපට සඟරාව 2025 පළමු කලාපය එළිදක්වන ලදි.
මේ අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති ගමගෙදර දිසානායක මහතා ඇතුළු චිත්‍රපට ක්ෂේත්රයට සම්බන්ධ බොහෝ පිරිසක් එක් වූහ.