ක්‍රිකට් මුල් පුටු නාමයෝජනාවක් ප්‍රතික්ෂේප වෙයි

ඉදිරි වසර දෙකක කාල සීමාව තුල ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු වෙනුවෙන් පැවැත්වෙන නිලවරණයේ මුල් පුටුවට වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා සීසීසී ක්‍රීඩා සමාජයෙන් නැවතත් නාමයෝජනා ලබාදී ඇති අතර, එස්එස්සී ක්‍රීඩා සමාජයේ සමන්ත දොඩංවල හා සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ජයන්ත ධර්මදාස යන මහත්වරු ද සභාපති තනතුරට නාමයෝජනා භාරදී තිබේ.

සභාපති තනතුරට නාමයෝජනා භාරදී තිබූ ගාල්ල ක්‍රිකට් සමාජයේ දිලීප චාල්ස් මහතාගේ නාමයෝජනා පත්‍ර‍ෙය් ඇති දෝෂසහගත තත්ත්වය හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව පියවර ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන‍යේදී පෙරේදා අවසන් වූ ක්‍රිකට් නිලවරණ නාමයෝජනාවලදී ලේකම් තනතුරට වත්මන් වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතාට අමතරව සමන්ත දොඩංවල හා බන්ධුල දිසානායක යන මහත්වරුන් නාමයෝජනා ලබාදී තිබේ. නාමයෝජනා සම්බන්ධ විරෝධතා මේ 25 වැනිදා පෙරවරු 9 සිට 11 දක්වා කාලය තුළදී භාර ගැනීමට විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය ඇතුළු පංච පුද්ගල නිලවරණ කමිටුව තීරණය කොට ඇති අතර, ඡන්ද විමසීම මාර්තු 31 වැනිදා පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ලැබී ඇති නාමයෝජනා මෙසේය:

සභාපති (තනතුරු 1යි) – ශම්මි සිල්වා, සමන්ත දොඩංවල, ජයන්ත ධර්මදාස, උප සභාපති (තනතුරු 2යි) – රවීන් උදයප්‍රිය වික්‍රමරත්න, ජයන්ත ධර්මදාස, සමන්ත දොඩංවල, ලේකම් (තනතුරු 1යි) – ක්‍රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩංවල, බන්ධුල දිසානායක, උප ලේකම් (තනතුරු 1යි) – ක්‍රිෂාන්ත කපුවත්ත, සමන්ත දොඩංවල, බන්ධුල දිසානායක, නලීන් අසංක අපොන්සු, භාණ්ඩාගාරික (තනතුරු 1යි) – සුජීව ක්‍රිෂාන්ත ගොඩලියද්ද, ලසන්ත සදානන්ද වික්‍රමසිංහ, උප භාණ්ඩාගාරික (තනතුරු 1යි) – සුජීව ක්‍රිෂාන්ත ගොඩලියද්ද, ලසන්ත සදානන්ද වික්‍රමසිංහ