ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගවලියට සහභාගිවන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල අද ශ්‍රී ලංකාවට පැමිණෙයි. එක්දින තරග දෙකට සහභාගිවන ඔස්ට්‍රේලියානු පිලේ ක්‍රීඩකයන් 9ක් ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකු එවිට ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට සැලසුම්කොට තිබේ.
ඔස්ට්‍රේලියානු පිල දින 5ක පුහුණු සැසියක් ඩුබායිහි පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, කටුනායක සිට අධිවේගී මාර්ගය ඔස්සේ කෙළින්ම ගාල්ල බලා පිටත්ව යෑමට නියමිතය.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් සිය දෙවැනි දරුවාගේ උපත බලාපොරොත්තුවීම හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරයට එක් නොවන අතර, ස්ටීව් ස්මිත් කණ්ඩායමට නායකත්වය ලබාදේ. බිග්බෑෂ් ක්‍රිකට් තරගාවලියේදී ස්මිත්ගේ අත ආබාධයකට ලක් වුවද, ඩුබායි පුහුණුවීම්වලදී සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී ඔහුට ටෙස්ට් තරගාවලියට බාධාවකින් තොරව සහභාගිවීමේ හැකියාව තහවුරු කරගෙන තිබේ.
පළමු ටෙස්ට් තරගය මේ මස 29 සිට පෙබරවාරි 2 දක්වා හා දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 6 සිට 10 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ගාලු ටෙස්ට් තරගාවලිය නිමාවී දිනකින් පසු කොළඹදී එක්දින තරග ආරම්භ වන අතර, එම තරග පෙබරවාරි මස 12 වැනිදා හා 14 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා තරග ලෙස පැවැත්වේ. මෙම එක්දින තරග දෙක ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම අනුව සංවිධානය කෙරෙන අතර, පාකිස්තානයේ පැවැත්වෙන චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මනා පෙරහුරුවක් බව ඔවුන්ගේ අදහස වේ.
ශ්‍රී ලංකාවට සමාන තණතිලි පාකිස්තානයේ පිහිටා ඇති බැවින් ශ්‍රී ලංකා එක්දින තරග දෙකේදී ඔවුන්ගේ පන්දු යවන්නන් හා පිතිකරුවන් කළමනාකරණය කරගත යුතු ආකාරය පිළිබඳ සැලසුම් සකස් කිරීම අපේක්ෂාව වේ.