ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් මගීන් 13 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. මේ අනතුරට හේතු වී ඇත්තේ ලක්නව් නුවර සිට මුම්බායි දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගින්නක් හටගෙන ඇතැයි මගීන් අතර පැතිරී ගිය පුවතක් බව වාර්තා වේ. එම පුවතින් කලබලයට පත් මගීන් හදිසි දම්වැල ඇද දුම්රිය නතර කර ඉන් පිටතට පැනීමත් සමඟ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ දුම්රියක ගැටී ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ජීවිතක්ෂයට පත් වූයේ ලක්නව් නුවර සිට මුම්බායි දක්වා ධාවනය වූ පුෂ්පාක් එක්ස්ප්‍රස් දුම්රියේ ගමන් කළ මගීන් පිරිසක් බවත්, ඔවුන් ගැටී ඇත්තේ බැංග්ලෝර් නුවර සිට දිල්ලි නුවර බලා ධාවනය වූ කර්ණාටක එක්ස්ප්‍රස් දුම්රියේ බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.
මුම්බායි නුවරට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි පචෝරා දුම්රිය ස්ථානය ආසන්නයේදි මේ අනතුර සිදුවී ඇති අතර, ඉන් තුවාල ලැබූ පිරිස 40කට අධික බවද වාර්තා වේ. අනතුරට ලක්වූ මගීන් ගමන් කළ පුෂ්පාක් එක්ස්ප්‍රස් දුම්රියේ කිසිදු ගින්නක් හටගෙන නැති බවත්, සිදුවී ඇත්තේ දුම්රියේ එන්ජිම තුළින් විශාල දුමාරයක් පැතිරීම පමණක් බවත් ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව තහවුරු කර ඇතැයි වාර්තා වේ.