ඉල්ලුමට සරිලන පොල් සැපයුමක් නැතිවීම ඩොලර් ආදායමට ගැටලුවක්-ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ

ශ්‍රී ලංකාවේ වාර්ෂික දේශීය පොල් පරිභෝජනය බිලියන 1.6ත් 1.8ත් අතර අගයක් ගන්නා බව ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කරයි.

මෙරට වාර්ෂික සමස්ත පොල් පලදාව බිලියන තුනකට ආසන්න අගයක් ගන්නා බව පෙන්වා දෙන ඒ මහතා දේශීය ආහාර පරිභෝජනයට අමතරව බිලියන 1.2ත් 1.4ත් අතර ප්‍රමාණයක් පොල්තෙල්, පිටිකළ පොල්කිරි, පොල් ක්‍රීම් ලෙසින් අපනයන අගය එකතු කිරීම් සහ අපනයනය සඳහා භාවිත කරන බව ද පෙන්වා දෙයි.

මේ වන විට පොල් කර්මාන්තයෙන් ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් මිලියන 850ක් උපයා දෙන බව පෙන්වා දෙන නියෝජ්‍ය ඇමැතිවරයා ඉන් පොල් මදයෙන් කෙරන නිෂ්පාදනවලට සමානවම අගයකින් පොල් කට්ට සහ පොල් ලෙල්ල ආශ්‍රිතව කෙරෙන නිෂ්පාදනවලින් අපනයන ආදායමක් ලැබෙන බව ද පොල් බහුල ලෙස ගෘහස්ථ පාරිභෝජනයට ගැනීමෙන් මූලිකවම පොල් කටු, පොල් වතුර සහ පොල් ලෙලි හරහා ලබාගත හැකි ආදායමක් අහිමි වී යන බව ද කියා සිටී.

මේ අතර ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පොල් ගසකින් වාර්ෂිකව සාමාන්‍ය පොල් ගෙඩි 110ක් ලැබෙන නමුත් ශ්‍රී ලංකාවේ පොල් ගසකින් ලැබෙන්නේ ගෙඩි 50ක් වැනි ප්‍රමාණයක් බව සඳහන් කරන ඒ මහතා නිසි පරිදි වගාවට පො‍ෙහාර නොයෙදීම, ජලය නොදැමීම, ඉඩම් කට්ටිය, රිළවුන් – දඬු ලේනුන් වැනි සතුන්ගෙන් සිදුවන හානිය සේම පසුගිය වසර කිහිපයේ සිදුවූ කාලගුණික විපර්යාස ද පොල් පලදාව තවත් අඩුවීමට හේතු වී තිබෙන බව ද පොල් කර්මාන්තයේ ඉල්ලුමට අවශ්‍ය තරම් පොල් හිඟවීම ඩොලර් ආදායම වැඩි කරගැනීමට ඇති ප්‍රධානම බාධකයක් බව ද සඳහන් කරයි.

ගෘහස්ථ පරිභෝජනයේදී පොල් කිරි ලබාගැනීමට අතින් මිරිකා ගැනීම වෙනුවට බ්ලෙන්ඩර් කිරීමට යොමු වීම සහ පොල් වෙනුවට පිටිකළ පොල් හා පොල් කිරි වෙත පාරිභෝගිකයන්ට යොමු වීමට හැකිනම් පොල් අපනයන කර්මාන්තයේ අවශ්‍යතාවට සරිලන සැපයුම වැඩිකර එම කර්මාන්තය තවත් වර්ධනය කළ හැකි බව පෙන්වා දෙන චතුරංග අබේසිංහ මහතා එම ක්‍රියාව මේ වන විට නාගරික නිවෙස් වෙත යොමුවී තිබෙන බව ද එමඟින් කාලය හා කසළ ගැටලුව අවම වී ඇති බව ද පවසයි.

කර්මාන්ත අමාත්‍යාංශය ලෙස පොල් මඟින් ලැබෙන විදේශ විනිමය ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම කෙටිකාලීන අරමුණක් වන නමුත් ඒ සඳහා ඉතා හොඳ විභවයක් තිබෙන අතර කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය ඒ සඳහා උපරිම කැපවීම කිරීමට සූදානම් බව ද අපනයන ප්‍රමුඛ නිෂ්පාදන ආර්ථික පුනරුදය ඇරඹී ඇති බව ද ප්‍රකාශ කරයි.