වී සමඟ නැවත කූට ව්‍යාපාර කරන්නට පැමිණෙන සියලු සහල් මෝල් හිමියන්ගේ සහල් මෝල් හමුදා භාරයට ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
විදත් නාළිකාවක පෙරේදා (21) පැවැති වැඩසටහනකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. තවදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවසීය. මහ කන්නයේ සිට සහතික මිලට සහල් අලෙවි කිරීමත් වෙළෙඳපොළට සහල් නිකුත් කිරීමත් අනිවාර්යයි. තොග රැස් කරන්නන්ට සහතික මිලට වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකි මිලකට වී මිලදී ගත යුතුයි.
තොග රැස් කරන්නන් වී අලෙවි මණ්ඩලයේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ ලියපදිංචිවීම අනිවාර්යයයි. එසේ නොකරන තොග රැස් කරන්නන්ගේ සහල් තොග රාජසන්තක කරනවා. රටේ බත සමඟ ගනුදෙනු කිරීමේදී ප්රජාතන්ත්රවාදය සම්බන්ධවත් සීමා තිබෙනවා.
අපි චක්‍රලේඛයක් නිකුත් කළා වී තොග රැස් කරන හැම කෙනාම ආණ්ඩුවේ ලියා පදිංචි වෙන්න ඕනේ කියලා. මේ රටේ මහාමාර්ග හැරුණුකොට වැඩිම ආයෝජනය කරලා තිබෙන්නේ වී නිෂ්පාදනය කරන්නයි. ඒ කියන්නේ වාරිමාර්ග සඳහායි. අපි ආසන්න වශයෙන් මහ කන්නයේදී රුපියල් බිලියන විස්සකට වැඩි ප්‍රමාණයක් පොහොර සහනාධාරයට දුන්නා. ඒ රුපියල් කෝටි 20000ක්. රටේ ඉඩම් සම්පත මේකට යට කරලා තිබෙනවා. ඒ කියන්නේ මේක ජාතික දේපොළක්. මේක එක එක්කෙනාට හංගගෙන ඉන්න, තොග රැස් කරන්න බැහැ. ඒ නිසා ඒ දේපොළ ගැන ආණ්ඩුවට වාර්තාවක් ඕනෑ.
විශ්‍රාමික ජනාධිපති නිල නිවාස යළි රජයට භාරදීම පෞද්ගලික ප්‍රශ්නයක් හෝ කිසිවකුගෙන් පළිගැනීමක් සඳහා ගෙන ආ යෝජනාවක් නොවේ.කිසිවකුගේ දේපොළ සම්බන්ධයෙන් මට පෞද්ගලික තරහක් නැහැ.
නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙන බවට නව ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දුව අනුව මේ යෝජනාව ගෙනවා.
හිටපු ජනාධිපතිවරුන් පස්දෙනකු සහ ජනාධිපති ආර්යාවක් මෙරට සිටින බවත් රජයෙන් නිල නිවෙසක් ලබා නොගෙන තමාගේම නිවසේ රැඳී සිටීමට තීරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිය පළ කරනවා.
හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ යන අය තවමත් ඔවුන්ගේ නිවාස රජයට පවරා දී නැහැ. පළමුව, එම නිවාසවල වටිනාකම රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව හරහා තක්සේරු කරනු ලබනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාමේ පිහිටි නිෙවස පිහිටි ඉඩම අක්කර එකයි පර්චස් 13ක් වෙනවා. නිෙවස වර්ග අඩි 30,500ක් පුරා විහිදෙනවා. පදිංචිය සඳහා රජයේ තක්සේරුව රුපියල් මිලියන 3,500යි. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට අනුව, නිවසෙහි මාසික කුලිය රුපියල් මිලියන 4.6ක් වෙනවා.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට කොළඹ ටොරින්ටන්හි පදිංචියට වර්ග අඩි 15,000කට වැඩි ප්‍රදේශයක් වෙන්කර තිබුණා. ඒ අනුව ඇයට වර්ග අඩි 9,000කට වැඩි ප්‍රමාණයකින් යුත් නිෙවසක් ලබා දී ඇති අතර වර්ග අඩි 4,000ක ප්‍රමාණයක් ඇගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට වෙන්කර තිබෙනවා. ඇගේ කාර්යාලය සඳහා තවත් වර්ග අඩි 2,000ක් වෙන් කරලා තිබෙනවා. ඇයගේ නිවාස කුලිය සඳහා රජයේ තක්සේරුව රුපියල් මිලියන 2ක් වෙනවා.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජීවත් වන්නේ කුඩා නිෙවසකයි. රජයේ තක්සේරුව අනුව එහි මාසික කුලිය රුපියල් ලක්ෂ 9ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙම ක්‍රියාවන් පළිගැනීමේ චේතනාවෙන් නෙමෙයි දේශපාලන සදාචාරයේ අවශ්‍යතාවයෙන් සිදුවන්නක්. විශ්‍රාම ගැනීමෙන් පසු මට රජයෙන් පදිංචියක් හෝ රැකවරණයක් අවශ්‍ය නොවන බව ලිඛිතව ඔබට සහතික වෙන්න පුළුවන්. මට රටේ ජනාධිපති විදියට වැඩකරනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මෙවැනි දේශපාලන සංස්කෘතියක් රටට අත්‍යවශ්‍ය වන අතර එය ජනවරමේ හරයයි. පළිගැනීමේ චේතනාවක් අපිට නැහැ.
රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කෙරුණු බවට චෝදනා එල්ල වී තිබෙන මේ වන විට කාලයේ වැලිතලාවෙන් වැසි ගිය අපරාධ රැසක නෛතික කටයුතු ඉදිරි දින කිහිපයේදී ආරම්භ කරනවා. මුලින්ම කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දුන් සිද්ධියට අදාළ නඩුව මුලින්ම විභාගයට ගන්නවා. සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව විභාගයට ගැනෙනවා. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් නඩුව විමර්ශනය කිරීම ආරම්භ කිරීම මදකට ප්‍රමාද වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ පරීක්ෂණ කරපු නිලධාරීන් විශාල ප්‍රමාණයකට ස්ථාන මාරු දීලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ පත් වූ වෙලාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 650ක් මාරු කළා.
සියලු දෙනාට රටින් පිට වෙන්න බැරි විදිහට ගුවන් ගමන් තහනමක් ගත්තා. ඒ අය නැවත ගෙන්වා ගන්නත් අලුත් නිලධාරින් පත් කර ගන්නත් අපිට උවමනාව තිබ්බා. ඒකට යම් කාලයක් ගත වුණා. ලසන්ත ඝාතනය වන්නේ 2009 ජනවාරී 8 වැනිදායි. දැන් 2025ට අවුරුදු 16ක් වෙනවා. අවුරුදු 16කට පස්සේ තමා පරීක්ෂණ කරන්නේ. මේ වන විට ඒ සාක්ෂි කොහොම තියෙයිද, එහෙම කියලා අපි මේක අත හරින්නේ නැහැ. නමුත් යම් දුෂ්කරතා තිබෙනවා. තාජුඩීන් ඝාතනයට අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරියා මියගොස් තිබෙනවා. ඔහු තමයි ප්‍රධාන සාක්ෂිකරුවකු වෙන්නේ. යම් යම් අපහසුතා තිබුණත් ඒ වෙනුවෙන් යුක්තිය ඉටු වෙන්න ඕනේ. පෝද්දල ජයන්ත සිද්ධියේ වෛද්‍ය වාර්තා රෝහලෙන් අතුරුදන් වෙලා තිබෙනවා. ඔහුගේ ඇඳ ඉහපත් වාර්තාවත් අතුරුදන්. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ යහපත් දිසාවකට යොමු වෙමින් තිබෙනවා. යුක්තිය ඉටු කිරීම අත්හරින්නේ නැහැ.